ඉස්ලාම් විශ්වාසයේ පළමුවැනි කාරණය වන්නේ මිනිසා වැදුම් කළ යුත්තේ දෙවියන්ට (අල්ලාහ්ට) (අල්ලාහ් යන අරාබි වචනයේ අරුත දෙවියන් යනුයි) පමණක් යන්න වේ.
“ඕ, මනුෂ්‍යයෙනි. දෙවියන් නමදින්න. ඔහු හැර නැමැදීමට සුදුසු වෙනත් කෙනෙක් නැත.”
එය වනාහි දස පනතේ ඇති “සැබැවූ එකම දෙවියන්ට පමණක් වන්දනා කරව” යන්නට සමාන ඇදහිල්ලකි, විශ්වාසයකි.
ඉස්ලාමිය විශ්වාසයේ දෙවැනි කාරණය වන්නේ දෙවියන් සිය දූතයන් මගින් කටයුතු කරවා ගනී ය යන්නයි. මෙම දූතයින් මලඉකා යන අරාබි වචනයෙන් හැඳින්වේ.
ඉස්ලාම් විශ්වාසයේ තුන්වෙනි කාරණාව දෙවියන් සිය ධර්මය කලින් කලට නබිවරුන් මගින් ලොවට පහළ කරන බවයි. ඒ පහළ කළ ධර්මය අතර ප්‍රධාන ආගම් හතරක් ඇති බව ඉස්ලාම් භක්තිකයින් හඳුනා ගනී.
- මෝසෙස් හෙවත් මූසා නබි මගින් හීබෲ භාෂාවෙන් පහළ කෙරුණු තෝරා දහම. මෙය ශුද්ධ වූ බයිබලයේ එන පළමු පොත් පහයි. මෙය ජුදෙව් ආගමේ මූලික පදනමයි.
- දාවිත්. (ඬේවිඞ්) හෙවත් දාවුද් නබි මගින් සුනානි භාෂාවෙන් පහළ කරුණු සබුර් දහම.
- ජේසුස් (ජීසස්) හෙවත් ඊසා නබි මගින් සුර්යානි බසින් පහළ කළ ඉන්ජිල් දහම. මෙය ක්‍රිස්තියානි දහමයි.
- මොහොමඞ් නබි මගින් අරාබි බසින් පහළ කරුණු ඉස්ලාම් දහම
ඉස්ලාම්වරු එසේ අදහන නිසාම ජුදා ආගමේ තෝරාවට මෙන්ම ජේසුස් වහන්සේට (මූසා නබි ට) ගෞරව කරති.
නබිවරුන්, රසුල්වරුන් යනුවෙන්ද දේව වාක්තෘන් වශයෙන්ද ඉස්ලාම් පොත්වල දැක් වේ.
ඉස්ලාම්වරුන්ගේ ඇදහීම වන්නේ දෙවියන්ගේ අවසාන නබි වරයා මොහොමඞ් / මුහම්මද් (සල්-අලෛ) තුමා බවයි.
ශුද්ධ වූ අල් කුර්ආනයේ ඊසා හෙවත් ජේසුස් වහන්සේ ගැනත් එතුමාගේ මෑණියන් වන මරිය තුමිය (මරියම්/මර්යම්) ගැනත් සඳහන් වේ. ඒ ගැන පර්යේෂණ කර ඇති විද්වතුන්ට අනුව මරිය තුමිය ගැන 34 වතාවකුත්, ජේසු තුමා ගැනත් 25 වතාවකුත් ශුද්ධ වූ අල්කුර්ආනයේ සඳහන් වේ.
ජේසුස් වහන්සෙගේ උපත පිළිබඳව ශුද්ධ වූ බයිබලයේ දැක්වෙන අදහසට සමාන අදහසක් අල් කුර්ආනයේද දැක් වේ. එනම් අල්ලාහ් තආලාගේ මැදිහත්වීමෙන් කන්‍යාවක් වන මරියම් තුමිය මගින් ජේසුස් වහන්සේ උපන් බව දැක් වේ.
ජේසුස් වහන්සෙගේ දේශනාවක් අල් කුර්ආනයේ මෙසේ සඳහන් වේ.
“තවද මට පෙර පහළ වූ තෝරා ආගමේ අනුමත කළ දේ සහ තහනම් කළ දේ පැහැදිලි කර හා තහවුරු කරදීම සඳහා මා පැමිණියෙමි. (සුරා අල් ඉම්රාන් 60.)
“ඉස්රායල්වරුන්ගේ දරුවනි, මාගේ ආරක්ෂකයාද, ඔබලාගේ ආරක්ෂකයාද වන දෙවියන් වහන්සෙ නමදින්න. දෙවියන්ට වෙනත් කෙනෙකු සමාන කරන්නන්ට සත්‍යවශයෙන්ම ස්වර්ගය තහනම් කරයි. (සුරා අල් මයිදා 5:72)
මරියම් ගේ පුත්‍රයා මෙසායා එක් දූතයෙක් විනා අල්ලාහ්තආලා හෝ අල්ලාහ්තආලාගේ කුමාරයා නොවේ. උන්වහන්සෙගේ මවද අල්ලාහ් නොව ඉතා සත්‍යවන්තියක වේ. (සුරා අල්මයිදා 5.25)
මෙසෙයියාට හා දෙවියන්ට ලංවූ මලායිකාවරු අල්ලාහ්තආලාගේ මෙහිකරුවන් ලෙස සේවය කිරීම ගැන අඩුකොට සලකන්නේ නැත. (සුරාඅල් නිසා 4.172)
ඉස්ලාමය තුළ ජේසුස් වහන්සේ මෙන්ම මරිය තුමියටද උසස් කොට ගෞරවයෙන් සලකනු ලබන නමුත් ඔවුන් වහන්සෙලා වෙත දේවත්වයක් ආරෝපණය කිරීම ප්‍රතික්ෂේ කරයි.
වර්ථමාන ලෝකය තුළත් අතීතයෙන් ඉස්ලාම් හා ක්‍රිස්තියානි ගැටුම් පැවැතියත් (උදා කුරුස යුද්ධය) ඉස්ලාම් දහමේ පූජනීය ග්‍රන්ථය තුළ ක්‍රිස්තියානියට ඉමහත් ගෞරවයක් දක්වන බව අප තේරුම් ගත යුතුය. මුස්ලිම්-කිතුනු ගැටුම් අප තේරුම්ගත යුත්තේ ඉස්ලාමයේ ගැටළුවක් ලෙස නොවේ. දහමෙන් ඔබ්බට ගිය ආගමික සංස්ථා අතර ගැටුමක් ලෙසයි.
ක්‍රිස්තියානින් භාවිත කරන නම් රාශියක් ඉස්ලාම් භක්තිකයින් අතර භාවිතා වේ. ඊට නිදසුන් කීපයක් මෙසේය.
දාවුද් (දාවිත්/ඬේවිඞ්), යුසුෆ් (ජෝශප්), මරියම් (මරියා), මුසා (මෝසස්), ආදම් (ආදම්), හෙව්වා (ඒව / ඊවා), ඉබ්‍රාහිම් (ආබ්‍රහම්), සුලයිමාන් (සොලමන්), ජිබ්රිල් (ගේබ්‍රියෙල්, ගැබ්රියල්), නුහ් (නෝවා).
මේ නම් ක්‍රිස්තියානිය මෙන්ම ඉස්ලාමයට පොදු වී ඇත. ඒ පැරණි ගිවිසුමෙන් ගලා එන නම් ය.