galle radaguru wasame ithihasaya

ගාල්ල රදගුරු වසම තුළ කතෝලික පැවැත්මක් ගැන සඳහන් වන්නේ පෘතුගීසි කපිතාන් ජෙනරාල් ජෙරෝනිමෝ ද අසවේදෝ ගේ කාල සීමාව තුළ යි. මීට පෙර ශු. ප්‍රැන්සිස් සාවියර් මුනිඳු එහි වැඩම කැර ඇති බව සඳහන් වන්නේ ය.

ජෙරනිමෝගේ බල කාලය වූයේ ක්‍රි.ව. 1594 සිට 1611 දක්වා ය. ශු. ප්‍රැන්සිස් සාවියර් මුනිඳුන් එහි වැඩම කැර ඇත්තේ ක්‍රි.ව. 1552 දීය. එතුමන් චීනය හා ඉන්දියාව අතර ගමන් ගත් අවස්ථාවක ගාලු වරායෙන් ගොඩබැස අසාධ්‍යව සිටි රෝගියකු බැලීම සඳහා ගාල්ලට ආසන්නව පිහිටි කලේගාන ග්‍රාමයට ගිය බව ජනප්‍රවාදයේ දැක්වේ.

ගාලු රදගුරු වසම ස්ථාපිත කරන ලද්දේ ක්‍රි.ව. 1893 අගෝස්තු මස 25 වැනිදාය. “ඉන් හක් බෙආටි” නිල නාමයෙන් නිකුත් කරන ලද පාප් වහන්සේ ගේ නියෝග පත්‍රය අනුව සබරගමුව සහ කොළඹ අනු පදවියට (vicariate) මෙතෙක් අයත්ව තිබූ දකුණු ප්‍රදේශය එයට අයත් කරන ලදි.

සබරගමුව ප්‍රදේශය සහ දකුණ පළාත සම්බන්ධ කොට නිර්මාණ කරන ලද ගාලු රදගුරු වසමභුමි ප්‍රමාණයෙන් ඉතා විශාල විය. එසේ ම රදගුරු නිවෙස මෙන් ම පදවි පරිපාලන කේන්ද්‍රස්ථාන ගාල්ලේ පිහිටුවාලීම කෑගල්ල, රත්නපුරය, බලංගොඩ ආදි පළාත්හි වෙසෙන ජනතාවට සෑහෙන අපහසු විය.

මේ හේතූන් නිසා ක්‍රි.ව. 1995 නොවැම්බර් මස වැනි දින සබරගමු පළාත් වෙන් කොට රත්නපුර රදගුරු වසම ලෙස පිහිටුවන ලදි. දැන් ගාලු රදගුරු වසම දකුණු පළාතට සීමා වී ඇත. මුහුදු වෙරළේ බෙන්තොට සිට කුමන දක්වා එය ඇදී යන්නේය.

පෘතුගීසි පාලන කාලය තුළ ගාල්ල ජනප්‍රිය නගරයක් විය. එහි පිහිටි විශාල වරාය මෙයට ප්‍රධාන හේතුව වූහයි කිව හැකිය. මෙහි ආර්ථික දියුණුව සමඟ ජනගහනය ද වර්ධනය විය. එසේම එහි කතෝලික පිරිස ද ව්‍යාප්ත වුණි.

මේ අනුව ගාල්ලේ කතෝලික දෙව් මැඳුරක් ඉදිවී තිබුණ බවත් විදිය බණ්ඩාර සංවිධානය කළ කතෝලික විරෝධී පීඩන යුගයේ දී (ක්‍රි.ව. 1551 – 1572 දක්වා) කළුතර, බේරුවල, මග්ගොන සහ වැලිගම මෙන් ම ගාල්ලේ දෙව් මැඳුර ද විනාශ කළ බව වාර්තා වන්නේය.

ක්‍රි.ව. 1628 වන විට නිර්දෝෂව පිළිසිඳගත් දේව මාතාවනට කැප කරන ලද ඉතා අලංකාර අංග සම්පූර්ණ දෙව් මැඳුරක් එහි යළි ඉදි වූ බව සඳහන් වන්නේය. මෙම දෙව් මැඳුරට යාව කුටි සහිත පූජකාරාමයක් ඉදිකැර තිබිණ. ගාල්ල කොටුවෙන් පිටත විසූ දෙදහසක පමණ කතෝලික පිරිසට මෙයින් සේවා කරන ලදැයි වාර්තා වේ.

එසේම එයට මායිම් ව උතුරෙන් පිහිටි වක්වැල්ලේද ස්නාවක ජුවාම් තුමන්ගේ නමින් කැප කරන ලද දෙව් මැඳුරක් පිහිටි බවත්, එයට එක්දහස ඉක්ම වූ කතෝලික පිරිසක් අයත්ව සිටි බවත් සඳහන් වන්නේය.

මෙසේ ගාලු ප්‍රදේශය තුළ කිතු දහම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය. මේ අනුව දෙව් මැඳුරු රැසක් ද පිහිටුවන ලදි. කිතුනුවන් 1200 ක් පමණ සිටි රත්ගම ශු. ලුවිස් නමින්ද, කිතු බැතිමතුන් 1300 ක් සිටි මාදම්පේ (දකුණු පළාතේ) ශු. ක්ලාරා මුනිවරිය නමින් ද, කිතුනුවන් 2000 ක් සිටි වැලිතර රජ තුන් කට්ටුව නමින් දෙව් මැඳුරු පිහිටි බව වාර්තාගත වී ඇත.

එසේ ම කතෝලික බැතිමතුන් 500 ක් සිටි කොස්ගොඩ ග්‍රාමයේ ශු.අන්තෝනි මුනිඳුන් ගේ නාමයෙන් ඉදි කරන ලද ඉතා අලංකාර දෙව් මැඳුරක් පිහිටි බව සඳහන් වන්නේය. මේ සමඟ ම දකුණු දිසාවට බරව දෙව් මැඳුරු කිහිපයක් විය.

ක්‍රිස්තු භක්තිකයින් 1200 ක් ජීවත් වූ කොඩිගොඩිම් ක්‍රිස්තුත්පත්ති දෙව් මැඳුරද තවත් බැතිමතුන් 1500 ක් ජීවත් වූ කොග්ගල ශු. ජුසේ තුමන්ගේ ගෞරවය පිණිස දෙව් මැදුර ද මෙන්ම තවත් බොහෝ දෙව් මැදුරු තිබූ බව වාර්තා වේ. තව දුරටත් සඳහන් වන ලේඛන මෙසේය.

  • කිතුනුවන් දහසක් සිටි අහංගම ප්‍රතිකාර දේව මාතාවන්ගේ දෙව් මැඳුර
  • කිතුනුවන් 2000 ක් සිටි වැලිගම ශු මිඛායෙල් තුමන්ගේ දෙව් මැඳුර
  • කිතුනුවන් 430 ක් සිටි මිරිස්සේ දේව මාතාවගේ දෙව් මැඳුර
  • කිතුනුවන් 600 ක් ජීවත් වූ කෝටිටවත්තේ සානුකම්පාවේ දේව මාතාවගේ දෙව් මැඳුර
  • කිතුනුවන් 600 ක් විසූ පරාදුවේ ශු. ජුවකිනු මුනිඳුන්ගේ දෙව් මැඳුර
  • කිතුනුවන් 2400ක් විසූ දෙවුන්දර නාම තුනකින් යුත් දෙව් මැඳුර
  • කිතුනුවන් 300 ක් විසූ බඹරැන්දේ ශු. අන්තෝනි මුනිඳුන්ගේ දෙව් මැඳුර
  • කිතුනුවන් 2000 ක් විසූ දික්වැල්ලේ සාන්ත ලුසියා දෙව් මැඳුර යනුවෙන් ය.

කොග්ගල වාසය කළ 1500 ක් වූ කතෝලික පිරිස ගෙන් එක් දහසක් ම කිතු දහම වැළඳගෙන ඇත්තේ එහි සේවා කල සිල්වත් ගරු පේඩ්‍රෝ දෝස් අනහෝස් පියතුමන් අතින්ය. එසේම නිල්වලා ගඟ ඉහළ ප්‍රදේශයේ පිහිටි කෝට්ට වත්තේ සානුකම්පාවේ දේව මාතා දෙව් මැඳුර ඉදි කරන ලද්දේ හෙළ බසෙහි පඬිවරයකු වූ ගරු ඇන්ටෝනියෝ පෙයික්සෝටෝ පියතුමන් විසිනි. එතුමා ගේ කෘතීන් පිළිබඳ අපි වෙනත් ලිපියක සටහන් කෙළෙමු.

ඉහත සටහන් කළ දෙව් මැඳුරු මෙන්ම කතෝලික බැතිමතුන් ගේ සංඛ්‍යාව ව්‍යාප්ත වීමද වැඩියක් සිදුවී ඇත්තේ පෘතුගීසි පාලන කාලය තුලයි. වීදිය බණ්ඩාර සිදු කළ ව්‍යසනයෙන් පසුව ද ඒ සියල්ලට උර දී සිටි කතෝලික පිරිස අගාධයට ඇද වැටුණේ ඕලන්ද සමය තුළයි.

ක්‍රි.ව. 1658 සිට 1796 දක්වා වූ ඕලන්ද සමය තුළ අප රටේ කතෝලිකයිනට ඉතා දරුණු පීඩන යුගයක් විය. මේ හේතුවෙන් දිවි පිදූ එඩිතර කතෝලික පිරිස මෙන්ම රාජ්‍ය වරම් පතා කතෝලික දහම අත්හළ අය ද වූහ. එසේ ම ඕලන්දයින් තමන් ගේ රෙපරමාදු කිතු දහමට විවිධ බලපෑම් මගින් හරවා ගත් පිරිස ඔවුන් නික්මයාමත් සමඟම දහමෙන්ද ඉවත් වූහ. අද දක්වා ම මේ පෙදෙස් හි පෘතුගීසි නම්, වාසගම් දරණ කිතුනු නොවන බොහෝ දෙනා සමහරකු ගෙන් පැවත එන අය විය හැකි ය.

ඕලන්ද පීඩන සමයේ දී ගාලු ප්‍රදේශය තුළ දහම් සේවාව සඳහා පැමිණියේ ඔරතෝරියාන නිකායේ පියවරුන් ය. තිස් වසරකට ආසන්න කාලයක් කිසිදු කතෝලික පූජකවරයකු හෝ පැවිදිවරයකු හෝ නොසිටි ලංකාවට මෙම නිකායෙන් පළමුව පැමිණියේ ජුසේ වාස් පියතුමන් ය. එතුමන් දිවයිනට පා තැබුවේ ක්‍රි.ව.1687 දීය.

ඉනික්බිත්තෙන් ඔරතෝරියානු ධර්ම දූතවරුන් ලංකාවට පැමිණි නමුත් ඔවුන් ගේ සේවාව ඉතා සීරුවෙන් හා රහසිගත ව ද ඉටු කරන්නට සිදු වී තිබිණි. මෙවැනි වාතාවරණයක් තුළ ක්‍රි.ව. 1725 දී ගරු ක්‍රිසොස්ටෝම් ෆර්නැන්ඩස් පියතුමා ගාල්ලට පැමිණියේ ය.

එසේ ම එම වසරේ දී ම ගරු ජෝසෆ් පෙරෙයිරා එහි වැඩම කළේය. ඒ පසු පසින් ම ගරු ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා ද පැමිණියේ ය. එතුමා ගාල්ලට පැමිණ එහි මුදලිවරුන් සමග මාතර බලා ගියේ ය.

එහි සිට එම පළාතේ විශාල පිරිසක් කතෝලික දහමට හැරුනු බව වාර්තා වී තිබේ. මින් පසු ක්‍රි.ව. 1714 දී ගාල්ල සහ මාතර ප්‍රදේශයන්හි ගරු ඇලෙක්සැන්ඩ්‍රෝ මනොඑල් පියතුමන් ද ක්‍රි.ව. 1747 දී ගරු ලොරෙන්සෝ තොල්ලකෝ පියතුමන් ද සේවා කළ බව වාර්තා වන්නේය.

දකුණු පළාතේ විශේෂ දූත මෙහෙවරක් සංවිධානය කරන ලෙසත් එම පළාත බාරව නායක පූජකතුමකු පත් කරන ලෙසත් අති උතුම් ක්‍රිස්ටෝෆර් බොන්ජින් අගරදගුරු හිමිපාණන්ට ක්‍රි.ව. 1888 මැයි මස 18 වැනි දින නිර්දේශ කැර ඇත. මේ අනුව එම පළාත් බාරව ගරු ටුසේන්ට් ටර්මෙනුඩ් නි.ම.නි. පියතුමා එහි ශ්‍රේෂ්ඨාධිපති වශයෙන් ක්‍රි.ව. 1889 දී පත් විය.

මෙතැන් සිට නිමල මරිය නිකායේ පියවරු එහි සේවාවෙහි යෙදුනා හ. තවදුරටත් මාතර ලැගුම් ගෙන සේවා කිරීම සඳහා ක්‍රි.ව. 1887 ඔක්තෝබර මස 12 වැනි දින ගරු පී. කෝමුල් පියතුමන් එහි යවන ලදි. ඉන් පෙර මේ පළාතේ දූත මෙහෙවරක යෙදුණු ගරු පී. බුලික් නි.ම.නි. පියතුමන් ගැනද යමක් සඳහන් කළ යුතු යි. මෙ තුමා බලංගොඩ, රත්නපුර ආදී ප්‍රදේශවල විශාල සේවාවක් ඉටු කරමින් සිටිය දී ක්‍රි.ව. 1887 අගෝස්තු මස 16 වැනි දින රත්නපුරයෙන් ගාල්ල බලා පිටත් විය.

බර කරත්තයකින් ගමන් ආරම්භ කළ මෙ තුමා රක්වාන හරහා ගොස් බුළුතොට කළු දුර්ගයෙන් පහතට පිවිස මොරවක, මාතර, තංගල්ල සහ හම්බන්තොට ප්‍රදේශයන් හි දෙමසක් ගත කළේ ය. කතෝලික පියතුමකු මාතර රැඳී සිටින්නට සැලැසුම් කරන ලද්දේ බූලික් පියතුමන් කළ නිර්දේශය අනුවයි.

ගාල්ල ප්‍රදේශයේ විශිෂ්ට සේවාවක් කළ තවත් පියතුමකු ලෙස සිස්ටර්සියන් පැවිදි නිකායට අයත් ගරු ප්‍රොයිලානෝ ඔරුනා පියතුමන් හඳුන්වා දිය හැකි ය. මධ්‍යම ස්පාඤ්ඤයේ කියුබා හි ක්‍රි.ව. 1815 ජූලි මස 09 වැනි දා උපත ලද මෙ තුමා පූජකවරය ලැබූ පසු ගාර්සියා පියතුමන් සමඟ ම දහම් දූත කටයුතු සඳහා ලංකාවට පිවිසියේ ය.

ක්‍රි.ව. 1845 අගෝස්තු මස 14 වැනි දිනමෙහි සැපත් වූ එතුමන් එම වසරේ ම එවකට අනුරදගුරු තැන්පත් ව සිටි අති උතුම් ඇන්ටෝනියෝ කයෙටානෝ රදගුරු හිමිපාණන් විසින් ගාල්ල ප්‍රදේශය බාර ව යවන ලදි. එවකට ගාල්ල ලෙස සලකන ලද්දේ මුළු දකුණු පළාත යි.

ඔරුනා පියතුමා ගේ කැපවුණු සේවාව පිළිබඳ එකල විසූ කතෝලික සැදැහැවතුන් විසින් අති පැසැසුම්ස්වරයෙන් ලියන ලද ලිපි ගණනාවෙකි. මේවා ක්‍රි.ව.1846 අගෝස්තු මස පළ කරන ලද කොළඹ කතෝලිකසඟරාවේ (Colombo Catholic Magazine) 119 සහ 120 යන පිටුවල පළ වී ඇත.

ප්‍රපාතය කරා ඇද වැටෙමින් සිටි මේ පළාත්වල කතෝලික සැදැහැවතුන් පුනර්ජීවයක් ලබා ඇති බවත් පළමුවර ඔවුන් දිව්‍ය සත්ප්‍රසාද වන්දනාවක් සහ පෙරහැරක් කැර ආශිර්වාදය ලබා ගත් බවත් එහි සඳහන් වන්නේය.

ක්‍රි.ව. 1846 අගෝස්තු 03 දානමින් ද මාතර වාර්තාකරුවකුද ඔරුනා පියතුමා ගැන සවිස්තරාත්මක ලිපියක් එම සඟරාවට ලිපි සපයා ඇත. එහි සඳහන් වන්නේ මෙ තුමා සති තුනක් මාතර සිට තවත් සතියක් හම්බන්තොට ආධ්‍යාත්මික කටයුතුවල යෙදෙමින් සිටි වගයි.

මේ කාලය තුළ මෙ තුමා ඉමහත් උද්යෝගයෙන් ක්‍රියා කළ බවත් එම කාලය ඇතුළත ළදරුවන් හැර වැඩිහිටියන් දස සතර දෙනකු ක්‍රිස්තියානි කළ බවත් ‘රෝමානු කතෝලික දෙව් මැඳුර තුළ” විවාහ අටක් ආශිර්වාද කළ බවත් සඳහන් වන්නේ ය. (කතෝලික සඟරාව. 1846. 136 වැනි පිටුව)

ගාල්ල රදගුරු වසමේ මෑත ඉතිහාසය බොහෝ දෙනා නොදන්නවා නොවිය හැකිය. ඉතා කෙටියෙන් එය සඳහන් කළහොත් එය රදගුරු වසමක් බවට පත් කරනු ලැබුවේ ක්‍රි.ව. 1893 අගෝස්තු මස 25 වැනි දාය. එහි පළමු රදගුරු හිමිපාණන් ලෙස පත්වූයේ අති උතුම් ජුසෙප්පෙ වැන් ඊත් රදගුරු හිමිපාණන් ය.

ක්‍රි.ව. 1895 ජනවාරි මස 11 වැනි දින පත්වීම් ලැබූ එතුමෝ 1923 දක්වා ගාලු වසම බාරව ක්‍රියා කළෝය. ඉනික්බිත්තෙන් රදගුරු තුමකු පත් කරනු ලැබුවේ ක්‍රි.ව. 1934 මැයි මස 28 වැනිදාය. එ දින පත්වීම් ලැබූ අති උතුම් නික්ලස් ලෞඩඩියෝ ජේ.නි. හිමිපාණෝ ක්‍රි.ව. 1964 මැයි මස 26 වැනි දා දක්වා පදවි පාලනය මෙහෙය වූහ.

මෙතුමන්ගේ පත්වීමට පෙර රදගුරු පත්වීම ප්‍රමාද වූ කාලය තුළ එවකට ත්‍රිකුණාමලය රදගුරු වසම බාරව සිටි අති උතුම් රොබිශ් හිමිපාණන් වරින් වර එහි රැඳී සිට වැඩ බලා ඇත.

ගාල්ල රදගුරු වසම ආරම්භයේ සිට පාලනය වූයේ ජේසු නිකාය බාරේය. මේ හේතුවෙන් එහි ප්‍රථම සහ දෙවැනි රදගුරු හිමිවරුන් එම නිකායට අයත් විය. පළමු වරට පදවි පූජකවරයට අයත් එසේම දේශීය රදගුරුතුමකු පත් වූයේ ක්‍රි.ව. 1965 දී ය. එම පත්වීම ලද්දේ එවකට කොළඹ සහායක රදගුරුව සිටි අති උතුම් ඇන්තනි ද සේරම් හිමිපාණන්ය.

ක්‍රි.ව. 1965 මාර්තු මස 22දා පත්වීම් ලැබූ එතුමෝ පුරා දසසත් වසරක් එහි සේවා කොට 1982 පෙබරවාරි මස 28 වැනි දින සග සැපත් වූහ.

එයින් හිස් වූ තනතුරට පත් කරන ලද්දේ ද පද වි පූජක උතුමෙකි. ඒ අති උතුම් වූ විට විදානලා ගේ දොන් සිල්වෙස්ටර් රදගුරු හිමිපාණන් ය. ක්‍රි.ව. 1982 ඔක්තෝබර මස 15 වැනි දා වනතුරු ක්‍රියාත්මක වුහ. ඉන් ඉක්බිති 1995 ජුනි මස පළමු දින රදගුරු අබිසෙස් ලබා එහි සහායක ව සිටි අති උතුම් එල්මෝ නොයෙල් පෙරේරා හිමිපාණෝ එම තනතුරට පත් වුණෝය.

තමන් ගේ අසතුටුදායක සෞඛ්‍ය තත්ත්වය හේතුකොට ගෙන 2004 ඔක්තෝබර මස 11 වැනි දා එතුමන් විශ්‍රාම ගිය හෙයින් ලහි ලහියේ එම පුරප්පාඩුව පිරවීමට සිදු විය. එයට හේතු වූයේ 2004 දෙසැම්බර් මස 26 වැනි දා ඇති වූ සුනාමි ව්‍යසනයයි.

සුනාමිය වඩාත් ගිනිකොණ සහ බලපෑවේ නැගෙනහිර, දකුණු වෙරළ පෙදෙස් වලටයි. විශාල වශයෙන් විනාශ වී ගිය දකුණේ ජනතාවට සරණ වීම පිණිස සංවිධානය කළ සහන සේවා සම්බන්ධීකරණය රදගුරුතුමකු නැතිව ඉතා අපහසු කාර්යයක් විය.

මේ නිසා එවකට රත්නපුර රදගුරු වසම බාර ව සිටි අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා රදගුරු හිමිපාණන් ගාල්ල බාරව පත් කරන ලදි. ක්‍රි.ව. 2005 පෙබරවාරි මස 15 වැනි දා එම පත්වීම ලද එතුමන් 2009 මැයි මස 14 වැනි දා දක්වා එහි සේවා කොට කුරුණෑගල රදගුරු හිමිපාණන් වශයෙන් පත්වීම ලැබීය.

ගාල්ල රදගුරු පදවියේ සේවය කල රදගුරුවරු - 1
ගාල්ල රදගුරු පදවියේ සේවය කල රදගුරුවරු - 2
ගාල්ල රදගුරු පදවියේ සේවය කල රදගුරුවරු – 2
ගාල්ල රදගුරු පදවියේ සේවය කල රදගුරුවරු - 3
ගාල්ල රදගුරු පදවියේ සේවය කල රදගුරුවරු – 3

(මෙහි මුල් කොටසේ සඳහන් බෙහෝ කරුණු පාවුලෝ ඩෝ ට්‍රිනිඩාඩේ ගේ “Conquista Spiritual do Oriente” නමැති ග්‍රන්ථයේ තෙවැනි වෙළුමෙන් ලබා ගත් බව කරුණාවෙන් සලකන්න.)

උපුටා ගැනීමඅති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරුතුමාගේ කතෝලික යටගියාව පොතෙන්

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *