ජේසු තුමන්ගේ තෙරේසා යන පැවිදි නමින් කාමලයිට් තාපසිකාවක ලෙස බවුන් වැඩූ ස්පාඤ්ඤ ජාතික අවිලා හී ශු. තෙරේසා මුනිවරියගේ මංගල්‍යය ඔක්තෝබර් 15 දිනට යෙදේ.
1515 දී ස්පාඤ්ඤයේ අවිලාහී උපන් එතුමිය තුරුණු වියේදී කාමලයිට් තාපසිකාරාමයට පිවිස පැවිදි දිවිය වැළඳ ගත්තාය. ඒ වනවිට කාමලයිට් නිකාය එහි නියමිත ස්වරූපයෙන් මිදී ලෞකිකත්වයට බරව තිබෙනු දුටු එතුමිය තවත් සොයුරියන් කීපදෙනෙකු සමඟ වඩා දෘඪ එනම් මුල් කාමලයිට් දිවිපෙවෙත හා බැඳුණු රටාවක් අනුව වාසය ආරම්භ කළාය.
ඒ වනාහි පාවහන් නොපළඳින කාමලයිට් වරු එනම් Discalced Carmelite නම් කාමලයිට් ප්‍රතිසංස්කරණයේ ආරම්භයයි. එතුමිය එවන් ආරාම ගණනාවක් ස්පාඤ්ඤය පුරාවට පිහිටවූ අතර තම දිව්‍යමය අත්දැකීම් ඔස්සේ ලද අධ්‍යාත්මිකත්වයෙන් ඒවාට මඟපෙන්වූවාය.
කතෝලික ගුඪවාදයේ එනම් ධ්‍යානපර දිවියේ සුවිශේෂී තැනැත්තියක් ලෙස ප්‍රකට එතුමිය ලියූ ග්‍රන්ථ මගින්ද කතෝලික භාවනාව ආලෝකවත් වී ඇත. අවිලාහී තෙරේසා තුමිය 1582 දී සගසුව දිනූ අතර 1622 දී එතුමිය සාන්තුවර භාවයට ඔසවන ලදි. එසේම සාන්ත සභාවේ ප්‍රථම ධර්මාචාර්යවරිය ලෙස 1970 දී නම් කෙරිණි.
එතුමිය ආරම්භ කළ කාමලයිට් ජීවන රටාව අනුසාර කරන තාපසිකාවෝ ප්‍රථම වරට මෙරට කන්‍යාරාමයක් ආරම්භ කරන්නේ 1935 දීය. ඒ අගරදගුරු වසමේ කොළඹ 15 මට්ටක්කුලියේ ගොවිපළ පාරේ පිහිටුවන ලද දිව්‍ය සත්ප්‍රසාදයේ කන්‍යාරාමය හෙවත් කෝපුස් ක්‍රිස්ති කාමල් ආරමයයි.
ඉන්පසු අගරදගුරු වසමේ කන්‍යාරාමය මගින් 1950 දී මහනුවර රදගුරු වසමේ සාන්ත ජෝසප් තාපසිකාරාමය හා 1967 දී ගාලු පදවියේ කාලේගාන නිර්මල හෘදයේ තාපසිකාරාමය ස්ථාපිත කෙරිණි. පසුකාලීනව මහනුවර ආරාමය මගින් පාකිස්තානයේ ලාහෝර් හී කන්‍යාරාමයක් පිහිටුවන ලදි.
කාමලයිට් තාපසිකාවකගේ දිවිය ධ්‍යානපර වර්ගයේ එකක් වන අතර ඔවුහූ අභ්‍යන්තරවාසී දිවියක් ගෙවමින් දේව ප්‍රශංසා ගායනා කරමින් තාපසිකාරාමයේම වෙසෙන අතර තම දෑතේ සවියෙන් යැපුම් මාර්ග සලසා ගන්නීය.
දිවයිනේ එතුමියගේ නමින් කැපකළ දේවස්ථානයක් කොළඹ අගරදගුරු වසමේ කොටිකාවත්ත ප්‍රදේශයේ පිහිටා ඇත. ඊට අමතරව 1908 දී යාපනය රදගුරු තුමා අනුරාධපුරය මහබුලංකුලම ප්‍රදේශයේ මිලදී ගත් ඉඩමක නොච්චියාගම මීසම යටතේ එතුමියට කැපකළ දේවස්ථානයක් අතීතයේ තිබී ඇති අතර ඒ ප්‍රදේශයේ කතෝලික ප්‍රජාව නොමැති වීමෙන් එම දේවස්ථානය අද ක්‍රියාත්මක මට්ටමේ නොපවතී.
මාධව ජයකොඩි