විශ්ව සභා ඉතිහාසයේ සුවිශේෂී භූමිකාවකට පණ පෙවූ, තම අපිස් දිවියෙන්, සුබාරංචිය මත ගොඩනැගුණු එමෙන්ම සොබාදහම හා බැඳුණු සාමකාමී ජීවන රටාවෙන් මුළු ලොවටම මාහැඟි ආදර්ශයක් ඉතිරි කළාවූ අසීසියේ දිළින්දා යන අන්වර්ථ නමින් පතළ ශු. ෆ්‍රැන්සිස් තුමා සුබාරංචියේ වටිනාකම් මත පිහිටා ඉදිරිපත් කළ ෆ්‍රැන්සිස්කාන ජීවන රටාව අනුසාර කරන සංඝ ගණනාවක් ඇත.
ෆ්‍රැන්සිස්කාන නිකාය මූලිකවම කොටස් තුනකට බෙදේ.
1) ෆ්‍රැන්සිස්කාන පළමු නිකාය (First Order) ශ්‍රමණ කණ්ඩායම
- ෆ්‍රැන්සිස්කන් නිකාය (OFM),
- ෆ්‍රැන්සිස්කන් කැපුචින් නිකාය (OFM Cap)
- ෆ්‍රැන්සිස්කන් කොන්වෙන්චුවල් නිකාය (OFM Con)
2) ෆ්‍රැන්සිස්කාන දෙවන නිකාය (Second order )
- එනම් එතුමා විසින් අරඹා ශු. ක්ලාරා තුමියගේ පුරෝගාමීත්වයෙන් ගොඩනැගුණු තාපසිකා නිකාය.
3) ෆ්‍රැන්සිස්කාන තුන්වන නිකාය (Third Order)
- මූලිකවම ගිහියන් වෙනුවෙන් අරඹන ලද පසුකාලීනව පැවිදි පිරිස්ද සම්බන්ධ වූ කණ්ඩායම. මීට අයත් ස්වාධීන පැවිදි නිකායන් රාශියක් ලොව පුරා පවතී.
සිරිලක ෆ්‍රැන්සිස්කන් දූත මෙහෙවර පෘතුගීසි යුගය දක්වාම දිවෙන අතර ඔවුන් නිල වශයෙන් තම ධර්මදූත සේවාව මෙරට අරඹන්නේ 1543 දී මෙරට පුරෝගාමී කතෝලික ධර්ම දූත කණ්ඩායම ලෙසිනි. එදා ඔවුන් දැමූ සවිමත් අඩිතාලම මත මෙරට කතෝලික විශ්වාසය ගොඩනැගී ඇත. දිවයිනේ ඉතා විශාල ප්‍රදේශයක් ආවරණය කළ ඔවුන්ගේ සේවය අද්විතීය වූවකි.
එකල මෙරට රාජකීය පවුල් වල කුමාරවරුන් කීපදෙනෙක් ෆ්‍රැන්සිස්කන් නිකාය හා විවිධාකාරයෙන් සම්බන්ධ වූ බව පෙනේ. උඩරට රජ පෙළපතට අයත්වූ පෘතුගාලයේ ටෙල්හෙරාස් හී දේවස්ථානයක් තැනූ දොන් ජුවාම් නම් පියතුමා මේ අතර සුවිශේෂී වන්නේ එතුමා එම දේවස්ථානය ෆ්‍රැන්සිස්කන්වරුන් වෙනුවෙන් ආරමයක්ද සහිතව ඉදිකළ බැවිනි.
නැවත වරක් 19 සියවසේ මැදභාගයේ ෆෙලිචේ සොප්පි ද කනෝබියෝ නම් ෆ්‍රැන්සිස්කන් පියතුමෙක් හුදකලාව මහනුවර සේවය කළ බව කියැවේ.
1960 දී මහනුවර පදවියේ පියතුමෙක් වූ ගරු ෆ්‍රැන්සිස් එම්. ගුණතිලක පියතුමා අසීසියට ගොස් එහිදී මේ නිකායට බැඳී එහිම විසුවේය. කතෝලිකයන් අතර ප්‍රචලිත ශු. පැය පොතේ ඇත්තේ එතුමාගේ නාමයයි. පසුකාලීනව ගරු මයිකල් ලන්සා නම් තවත් පදවි පූජකවරයෙක් මේ නිකායට බැඳී පසුව මෙරට පැමිණ තලංගම මීසම බාරව සේවය කළේය.
ෆ්‍රැන්සිස්කන් නිකාය දිවයිනේ නැවත ඇතිකිරීමට ගත් විවිධ ප්‍රයත්න අවසානයේ සාර්ථක වූයේ 1997 දී පිලිපීනයේ අනුග්‍රහයෙනි. අද මේ නිකායට අයත් ස්වදේශීය පූජකවරුන් කීපදෙනෙක් සිටිති.
කැපුචින්වරු
1525 දී ෆ්‍රැන්සිස්කන් කැපුචින් නිකාය බිහිවූයේ මේ මූලික නිකාය තුළිනි. කලකට ඉහත ශ්‍රී ලාංකිකයෙක් යුරෝපයේදී මේ නිකායට බැඳී සිටියේ ය. ඔවුන් මෙරට සේවය ආරම්භ කරන්නේ 2001 දීය. අද වනවිට පූජකවරය ලද කැපුචින් වරු තිදෙනෙක් සිටිති. සුප්‍රකට ශු.පියෝ පියතුමා මේ නිකායිකයෙකි. කැපුචින්වරු දුඹුරු ලෝගුව අඳින අතර එහි පිටුපසින් දිගැටි ශීර්ෂාවරණයක් ඇත.
කොන්වෙන්චුවල්වරු
මුල් ෆ්‍රැන්සිස්කන් නිකායේම කොටසක් වන කොන්වෙන්චුවල් නිකාය 1517 දී ස්වාධීන පැවිදි නිකායක් ලෙස ප්‍රතිස්ථාපනය කොට ඇත. එම නිකායේ සේවය 2006 දී මෙරට ආරම්භ විය. කලකට ඉහත මෙරට සංචාරය කළ සුවිශේෂී කොන්වෙන්චුවල් වරයෙක් ලෙස ශු. මැක්සිමිල්ලෝ කෝල්බේ තුමා දැක්විය හැක. මේ නිකායික පැවිද්දෝ කළු හෝ අළු පැහැති ලෝගුවක් අඳිති.
ෆ්‍රැන්සිස්කාන අධ්‍යාත්මිකත්වය මත ගොඩනැගුණු තුන්වන නිකායන්
අසීසියේ සාන්ත ෆ්‍රැන්සිස් තුමා තමන් මෙන් ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය කිරීමට කැමැත්ත පෙන්වූ අය උදෙසා ෆ්‍රැන්සිස්කන් පැවිදි නිකාය ඇරඹුවේය. ගිහි ජීවිත ගත කරන අයද එතුමන් හා එක්ව කටයුතු කිරීමට ඔවුන් තුළ වූ අභිලාෂය පෙන්වූ හෙයින් එතුමා පවුල් ජීවිත ගෙවන, ගිහි අය වෙනුවෙන්ද ෆ්‍රැන්සිස්කන් දිවිපෙවෙතේ තැනක් වෙන්කළේය. ෆ්‍රැන්සිස්කන් තුන්වන නිකායේ ආරම්භය සිදුවන්නේ එලෙසිනි.
පසුකාලීනව මේ රටාවට අනුගතව නිර්මාණය වූ විවිධ පැවිදි නිකායන්ද බිහිවිය. එලෙසම විවිධ පුද්ගලයන් ස්ථාපනය කළ පැවිදි නිකායන්ද මේ තුන්වන නිකාය හා සමග අනුබද්ධ කොට ඇත. ඒ අනුව අද වනවිට ෆ්‍රැන්සිස්කන් තුන්වන නිකාය තුළ ගිහි හා පැවිදි යන පාර්ශ්ව දෙකම හමුවේ.
සිරිලක සේවය කරන පැවිදි නිකායන් අතර මෙලෙස ෆ්‍රැන්සිස්කන් තුන්වන නිකායට අනුබද්ධ පැවිදි නිකායන් කීපයකි. එලෙසම 1886 තරම් ඈත අතීතයේ ආරම්භ වී අද දක්වා පවතින ගිහි ෆ්‍රැන්සිස්කන් සංඝයක්ද සිරිලක ක්‍රියාත්මක වේ.
සිරිලක ෆ්‍රැන්සිස්කන් තුන්වන නිකායන් අතර සුවිශේෂී එකක් වන්නේ ස්වදේශීය නිකායක් ලෙස දිවයිනේම ඇරඹී අද වනවිට ජාත්‍යන්තර පැවිදි තුන්වන නිකාය (Third Order Regular – TOR) හා සම්බන්ධ වී සිටින පැතුනි නිකායයි.
1871 දී පමණ කළුතර මීසම භාරව ආ ඉතාලි ජාතික ගරු ලූයිජි පිච්චනෙල්ලි නම් පියතුමා පැවිදි ජීවිතයක් වෙත ඇල්මෙන් තමන් කරා ආ තරුණයන් කීපදෙනෙකු එක්කොට 1878 දී මග්ගොන ආරම්භ කළ සංඝය කෙමෙන් වැඩී 1891 දී අගරදගුරු වසමට අයත් පැවිදි නිකායක් ලෙස ශාසන අනුමැතිය ලැබුවේය.
සාන්ත වින්සෙන්ති ද පාවුලු තුමන්ගේ ෆ්‍රැන්සිස්කන් සහෝදරවරු (FBV) නමින් හැදින්වුණු එම නිකාය විවිධ අදියර පසුකොට 1982 දී ජාත්‍යන්තර පැවිදි තුන්වන නිකාය (TOR) හා සම්බන්ධවී අද වනවිට ලක්දිව මාහැඟි සේවාවක නිරත වේ.
මරියතුමිගේ ෆ්‍රැන්සිස්කන් ධර්මදූතිකාවෝ (FMM)
1886 දී මෙරට සේවයට එක්වූ මේ කන්‍යාසොයුරියෝ තම සේවාව මොරටුව කේන්ද්‍ර කරගෙන ඇරඹූ අතර පසුව කොළඹ මහ රෝහල, මන්නාරම මහ රෝහල, හැඳල හා මඩකලපුව ලාදුරු රෝහල් වල හෙද සේවයට ඍජුවම සම්බන්ධ වී මහා මෙහෙවරක් කළහ. අදද දිවයිනේ විවිධ ප්‍රදේශ වල පැතිරී තම සේවාව ලබාදෙති.
සිරි කුරුසියේ පැවිදි සොයුරියෝ (Holy Cross Sisters of Menzingen)
යාපනය රදගුරු තුමාගේ ඇරයුමෙන් 1930 දී දිවයිනට සැපත් මේ පැවිදි වරියෝ කයිට්ස් රෝහලේ හෙද සේවයට පළමුව එක්වූ අතර කෙමෙන් වෙනත් රෝහල්වලද සේවය කළහ. අදද සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඔවුන්ගේ සුවිශේෂී සේවාව දැකිය හැකි අතර බදුල්ල ප්‍රදේශයේ රෝහලක්ද පවත්වා ගෙන යති. (Central Hospital Badulla)
සාන්ත ෆ්‍රැන්සිස් තුමාගේ ධර්මදූත සොහොයුරෝ (CMSF)
මග්ගොන ස්වදේශීය ෆ්‍රැන්සිස්කන් නිකායේ සිට පසුව ඉන් වෙන්වී මහනුවර රදගුරු වසමේ රදගුරු තුමන් යටතේ මාතලේ කේන්ද්‍ර කොට පැවිදි නිකායක් ලෙස සංවිධානය වූ සොහොයුරන් පිරිසකගෙන් 1949 දී මේ පැවිදි නිකාය බිහිවූ අතර 1984 දී ඉන්දියාවේ ෆ්‍රැන්සිස්කන් ධර්මදූතවරුන්ගේ සහෝදර නිකාය හා අනුබද්ධ කෙරිණි.
ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයේ කුඩා සොයුරියෝ (Minim Sisters)
ඉතාලියේ ආරම්භ වූ ෆ්‍රැන්සිස්කන් මිනිම් සොයුරියෝ 1994 දී තම සේවය අගරදගුරු වසමේ තුඩැල්ල ප්‍රදේශයේ ආරම්භ කළ අතර කෙමෙන් මන්නාරම හා අනුරාධපුර රදගුරු වසම් වෙතද ව්‍යාප්තවී ඇත.
ක්‍රිස්තු රජාණන්ගේ ෆ්‍රැන්සිස්කන් සොයුරියෝ (FSCK)
ස්වදේශීය නිකායක් ලෙස පාකිස්තානයේ ආරම්භ වූ මේ නිකාය 2006 දී මෙරට සේවය කොළඹ අගරදගුරු වසම තුළ ආරම්භ කර ඇත.
මේ සියළු තුන්වන නිකායික සංඝ ෆ්‍රැන්සිස්කන් ශ්‍රමණ පියතුමන්ලා සමගත් දිළිඳු ක්ලාරා තාපසිකාවන් හා සමගත් අධ්‍යාත්මිකව බැඳී එකම ෆ්‍රැන්සිස්කාන පවුලක් ලෙස දිවයිනේ තම දූත මෙහෙවර ඉටුකරති.