එළිදරව් සාහිත්‍යය සහ එහි බිහිවීම
එළිදරව්ව (Revelation) යන්නෙන් අදහස් කරන්නේ සැඟවී ඇති යම් දෙයක් අනාවරණය කිරීම ය. එහි ග්‍රීක වචනය වන අපොකලුප්සිස් (ἀποκάλυψις) යන්නේ ද අනාවරණය යන අදහස ඇත.
ශුද්ධ බයිබලයට අනුව එළිදරව්ව සංකල්පය යනු දෙවියන් වහන්සේ තමන් වහන්සේ ගැන යම් යම් කරුණු අනාවරණය කිරීමකි. මෙහි දී ආචාරධර්ම, ගැළවීමේ සැලැස්ම යනාදී දේ ගැන අනාවරණය වීම ලැබිය හැකි ය.
නමුත් ශුද්ධ බයිබලය දක්වන ආකාරයට එළිදරව්ව යනු දෙවියන් වහන්සේ විසින් මිනිසාට අනාවරණය වීම විනා මිනිසාගේ පර්යේෂණ සහ සොයා ගැනීමක ප්‍රතිඵලයක් නොවේ. ඒ නිසා උන්වහන්සේගේ ක්‍රියා, වචන, සැලැස්ම යනාදිය එමගින් එළිදරව් වන්නේ ය.
එළිදරව්වේ අග්‍රඵලය වන්නේ ක්‍රිස්තුස් වහන්සේ හෙවත් දෙවියන් වහන්සේම මාංශවත් වීම ය. ශුද්ධ ලියවිල්ලේ අන්තර්ගත වන්නේ මෙම එළිදරව් වීම ය.
ශුද්ධ බයිබලයේ එළිදරව් වීම් තුළ;
- මිනිසා දෙවියන් වහන්සේ සමඟ පෞද්ගලික සම්බන්ධයක් ඇති කර ගනී
- විටෙක ගිලිහී ගිය දේව සබඳතාවය නැවත අලුත්වැඩියා වේ
- දේව කැමැත්ත, සැලැස්ම ප්‍රකාශ වේ
- එය අනාවරණය වන්නා කීකරු ව ප්‍රතිචාර දැක්විය යුතු ය
මේ අනුව ශුද්ධ බයිබලයේ එළිදරව්වෙන් පෙනෙන්නේ දෙවියන් වහන්සේ වැඩවසන බව ය. මිනිසාට දේවත්වය ගැන දැනගත හැක්කේ දෙවියන් වහන්සේ විසින් හෙළිදරව් කර තිබෙන ප්‍රමාණය අනුව ය. රෝමානු කතෝලික සභාවේ එළිදරව්ව අභිරහසක් ලෙස විස්තර කෙරේ.
එළිදරව් සාහිත්‍යය යනු
එළිදරව් සාහිත්‍යය විවිධ පරිදි අර්ථකතනය කිරීමට හැකිය. මූලික වශයෙන් හෙළිදරව් සාහිත්‍යය යනු වර්තමානයේ සිදු වන සිදුවීම් තේරුම් ගැනීමටත් ඒවා ජය ගැනීමටත් හැකි වන පරිදි අතීතයේ සිදුවීම් මාලාවක් පාදක කර ගෙන අනාගත බලාපොරොත්තුවක් ඉදිරිපත් කර තිබෙන ග්‍රන්ථ සමූහයකි.
ඒවා ඉදිරිපත් කර ඇත්තේ අතීතයේ විවිධ කාල වකවානුවල විසූ කිතුනු සැදැහැවතුන් ඉලක්ක කරගෙන ය. එක්තරා ආකාරයකින් ශුද්ධ බයිබලයේ ගැළවීමේ ඉතිහාසයේ අතීතය, වර්තමානය සහ අනාගතය එකම ස්ථානයකට ගොනුවන තැන එළිදරව් සාහිත්‍යය ලෙස හැඳින්විය හැකි ය.
එළිදරව් සාහිත්‍යය ක්‍රිස්තියානි සාහිත්‍යයේ දී යොදා ගැනෙන්නේ;
- සැඟවුණු යමක් පිළිබඳව සෙවීමට සහ
- දැන ගැනීමට ලැබී තිබෙන නමුත් තවමත් සොයා ගෙන නැති යමක් ඉදිරිපත් කිරීම සඳහා ය.
තව ද එය ලෝක ඉතිහාසයෙහි අවසාන කාලයෙහි ඇතිවෙන්නට යන්නා වූ සිදුවීම් වලට පූර්වයෙන් පැමිණෙන සංඥා සහ සලකුණු දැක්වීම සඳහා ගුඨමය ඉඟියන්ගෙන් සංයුක්ත රචනා ශෛලියකි.
මෙම සාහිත්‍යයේ විෂය වන්නේ වර්තමානයට වඩා අනාගතය ය. තව ද භෞතික දේ වෙනුවට ආධ්‍යාත්මික දේ ද මිනිසා නොව දෙවියන් වහන්සේ සම්බන්ධ දේ ද මෙම සාහිත්‍යයට වස්තු විෂය වේ.
පාඨකයා භෞතික ලෝකයෙන් ආධ්‍යාත්මික විශ්වයකට ගෙන ගොස් දෙවියන් වහන්සේ හා සම්බන්ධ කාරනා අනාවරණය කිරීමක් මෙම ලේඛනවල දැකිය හැකි ය.
මෙම සාහිත්‍යය බොහෝ විට දක්නට ලැබෙන්නේ ජුදෙව්වන් අතර ය. ඒ ක්‍රි.පූ. 200 පමණ සිට ක්‍රි.ව. 150 පමණ කාලයේ ය. එම කාලය ජුදෙව්වන් වෙත අධික පීඩනයක් එල්ල වූ මකබිවරුන්ගේ කැරැල්ලේ සිට බර් කොක්බා කැරැල්ල අතර කාලයයි.
මේ නිසා මෙම රචනා ශෛලිය සාමාන්‍යයෙන් භාවිතා වන්නේ අධික වේදනා සහ පීඩන බහුල සමයක දී ය.
ජේසුස් වහන්සේගේ කාලයේ දී ද එළිදරව් සාහිත්‍යය ඉතා ජනප්‍රිය ව පැවතුනි. එම නිසා මෙසියස් වහන්සේ හැඳින්වීමට යොදා ගෙන තිබෙන වචන, සංකේත සහ ශෛලීන් අවබෝධ කර ගැනීම සඳහා මෙම සාහිත්‍යමය මාධ්‍යය වටහා ගත යුතු ය.
සාමාන්‍යයෙන් එළිදරව් සාහිත්‍යය වටහා ගැනීමට යොදා ගන්නා උපක්‍රම දෙකකි.
- අධිමානුෂික කරුණු රැසක් අනාවරණය කරනු ඇත යන රෝමානු කතෝලික ප්‍රමිතිය
- එළිදරව් මගින් හෙළි වන්නේ උපකල්පනයක් නොව දෙවියන් වහන්සේම ය යන දේවවේදීන්ගේ මූලික අදහස
මේ අනුව එළිදරව් සාහිත්‍යය යනු පහසුවෙන් ඉවත දැමිය නොහැකි ශුද්ධ බයිබලයේ අන්තර්ගත ඉතා වටිනා සහ සුවිශේෂී ලේඛන කලාවක් බව පෙනී යයි.
එළිදරව් සාහිත්‍යය බිහි වීම
ගැලවීමේ ඉතිහාසය තුළ දෙවියන් වහන්සේ විවිධ වූ පුද්ගලයන් මාර්ගයෙන් දේව ජනතාවට විමුක්තිය උදා කර දුන් සේක. දේව කැඳවීම ලත් ආදිපිතෘවරු, රජවරු, වීරවරු, විනිශ්චයකරුවන් වැනි විවිධ පුද්ගලයන් විවිධ කාලවල දී ඉශ්රායෙල් සෙනඟට නායකත්වය සැපයූයේ ය.
එලෙස ම ශුද්ධ බයිබලයේ පුරාණ ගිවිසුම පුරාම දේව කැඳවීම ලත් ඉශ්රායෙල් දිවැසිවරු ද දේව වචනය සහ අභිමතය දේව ජනතාව ඉදිරියේ ප්‍රකාශ කළෝය.
ඉන් අදහස් වන්නේ බොහෝ අවස්ථාවල ඉශ්රායෙල් ජනතාව දේව කැමැත්ත තෝරා බේරා ගැනීම සඳහා දිවැසිවරුන් වෙත යන්නට පුරුදුව සිටි බව ය.
නමුත් ක්‍රිස්තු පූර්ව හතරවන ශතවර්ෂයේ පමණ ඉශ්රායෙල් දිවැසිවරයද අනුක්‍රමයෙන් අතුරුදහන් විය.
විවිධ ආක්‍රමණයන්ට සහ පීඩනයන්ට ලක්ව සිටි ඉශ්රායෙල් ජනයාගේ දේව විශ්වාසය සහ බලාපොරොත්තු හීන වූයේ ඒවා සඳහා විසඳුමක් ලබා ගැනීමට මාර්ගයක්, දේව අභිමතය දැන ගැනීමේ මාර්ගයක් ඔවුන්ට නො වීම නිසා ය.
රටක් හෝ ජාතියක් ලෙස බලාපොරොත්තු විරහිතව අසරණ ව සිටින අවස්ථාවක එහි ජනතාවගේ බලාපොරොත්තු නැංවීමටත්, අනාගතය පිළිබඳව ඔවුන් තුළ නැති වී ගිය විශ්වාසය නැවත ඇති කිරීමටත් සාහිත්‍ය පොත පත යොදා ගෙන තිබෙන අවස්ථා එමට ය.
මෙලෙස ඉශ්රායෙල් සෙනඟ සහ දේශය දැඩි ලෙස පීඩාවට ලක් වූ විවිධ කාලපරිච්ඡේදවල තම කම්කටොළු ඉවසා දරා ගැනීම සඳහා දිරි ගැන්වීමක් ලබා දීමට ද නැති වී ගිය දේව විශ්වාසය සහ බලාපොරොත්තුව නැවත ඇති කිරීමට ද විවිධ ග්‍රන්ථ විවිධ පුද්ගලයින් අතින් රචනා විය.
ක්‍රිස්තු පූර්ව හතර වන ශතවර්ෂයේ දී පමණ එළිදරව් සාහිත්‍ය බිහි වූයේ මෙලෙස ය. එහි ප්‍රධාන අරමුණ වූයේ දිවැසිවරය අතුරුදහන් වීම නිසා ඇති වූ අඩුව පිරිමසා ගැනීම ය.
මෙය ජුදෙව් එළිදරව්වාදී චින්තනය නැතහොත් ජුදෙව් එළිදරව් සාහිත්‍ය ලෙස හැඳින්වේ. මෙලෙස බලන කළ එළිදරව් සාහිත්‍යය යනු ඉශ්රායෙල් දිවැසිවරය යම් ආකාරයකින් ඉදිරියට ගෙන යාමකි.
එම නිසාම එළිදරව් සාහිත්‍යය තුළ ඉශ්රායෙල් දිවැසිවරයේ තිබූ විවිධ ලක්ෂණ ද දක්නට ලැබෙන අතර ඉන් ඔබ්බට විහිදුණු තරමක් වෙනස් වූ සහ ඊටම ආවේනික වූ සාහිත්‍යය රාමුවක් ද මෙම ග්‍රන්ථවල ගැබ් ව ඇත.
ඒ අනුව සමස්තයක් ලෙස ගත්කළ ඉශ්රායෙල් දිවැසිවරයාගේ පුරප්පාඩුව පිරිමැසීම සඳහා එක්තරා සුවිශේෂී වූ සහ ඊටම ආවේණික වූ ලේඛන කලාවක් යොදා ගනිමින් ශුද්ධ බයිබලයේ එළිදරව් සාහිත්‍යය බිහි විය.