ඉතා දිළිදු දැරියක් වූ ප්‍රංශයේ ලුර්දු හි විසු බර්නදෙත් තුමිය වෙත ස්වර්ගීය මාතාව දර්ශනය් වුයේ ප්‍රංශයේ ලුර්දු ගම්මානයේ පිරනිස් කදු වැටියේ මසබියෙල් පව්ව ආසන්නයේ වන රොදක් ගුහාවකදීය. ඒ නිසාම ලුර්දු මෑණියන් යන ආදර නාමයෙන් මරිය මාතාව හැදින්වීමට කිතුනු අපි පුරුදුව සිටිමු.
දවස හරියටම 1858 පෙබරවාරි 11 වැනිදාය. ඒ එම අවුරුද්දේ අළු බදාදාට පසුවදාය. දාහතර හැවිරිදි බර්නදෙත් මාරි සුබිරි තම මවගේ ඉවුම් පිහුම් කටයුතු වලට සහය වීම සදහා දර එකතු කිරීමට මසබියෙල් පව්ව ආසන්නයේ වන රොදට ඇදුනේ තවත් සම වයසේ දැරියන් දෙදෙනෙකු සමගය. ඒ තම නැගණිය වූ ටොයින්ට් සුබිරු සහ ජීන් ආබාඩිය.
දර එකතු කරමින් සිටි ඔවුන් ගුහාව ආසන්නයට පැමිණියේය. ඒ ආසන්නයේ වූ දිය කඩිත්තෙන් ඔබ්බට තම සොයුරිය හා මිතුරිය ගිය බැවින් බර්නදෙත් තනි වුවාය. තම මේස් කුට්ටම නොතෙමා දිය කඩිත්තෙන් එගොඩ වීම බර්නදෙත්ගේ අදහස විය.
එබැවින් දිය කඩිත්තට ගල් කැබලි කිහිපයක් දමා තමාට ඒ මත නැගී එතෙර වන්නට උපකාර කරන්නයි ඇය සිය සගයන් දෙදෙනාගෙන් ඉල්ලා සිටියද ඔවුන් ඊට අනුකුලතාව නොදක්වා තමන් මෙන් ජලයේ බැස එන්නැයි ඇයට පිළිතුරු දුන් බැවින් ඇය ජලය මද තැනක් සොයා එපිටට ගියාය.
එහෙත් එවන් තැනක් සොයා ගත නොහැකි වූ බර්නදෙත් නැවතත් ගුහාව ළගට පැමිණියාය. වෙනත් විකල්පයක් නොවුයෙන් බර්නදෙත් සුදානම් වුයේ මේස් ගලවා දමන්නටය. හදිසියේම ඇසුණු නුහුණු කුණාටුවක හඩින් ඇය තිගැස්සුනාය. ඇය තණ බිම වෙත නෙත් යොමු කළාය.
ගස්වැල් නිසලව පැවතුණි. ඇය යළි මේස් උනන්නට පටන් ගත්තාය. යළිදු පෙර කී කුණාටු හඩ ඇසෙන්නට වුයෙන් කැළබිල්ලට පත් වූ බර්නදෙත් ගුහාව වෙත නෙත් යොමු කළාය. ඇය දුටුවේ කිසිදා අපේක්ෂා නොකළ දර්ශනයකි.
සුදු වතින් සැරසී නිල්වන් බද පටියකින් දෙපා අසල කහ වන් රෝස කුසුමින් සුදු සහ කහ වර්ණ ජපමාලයකින්ද අලංකෘත වූ සුරූපී කාන්තාවක් තමා දෙස බලා සිටිනු බර්නදෙත් දුටුවාය. තමා සමීපයට පැමිණෙන්නයි එම කාන්තාව ඇයට සංඥා කළාය.
ඉන් තිගැස්සීමට පත් බර්නදෙත් තමා මායාවක් දකිනේයැයි සිතා නෙත් වසා ගත්තාය. යළිදු නෙත් විවර කල විට කාන්තාව එහිම සිටියාය. අනතුරුව එම කාන්තාව ජපමාලය රැගෙන කුරුසිය සලකුණු කරන විට බර්නදෙත් තම ගවුමේ සාක්කුවේ කවදත් සුරැකිව තිබෙන ජපමාලය රැගෙන ඇය අනුගමනය කළාය.
දෙදණ බිම හොවාගත් බර්නදෙත් ජපමාලය උච්චාරණය කරද්දීද එම කාන්තාව ඇය ඉදිරිපිට සිටියාය. අනතුරුව කාන්තාව තමා සමීපයට එන්නැයි සංඥා කළාය. එහෙත් ඇය බිය වුවාය. හදිසියේම කාන්තාව අතුරුදහන් වුවාය. පසුව එතැනින් ඉවත්ව තම සගයන් සොයා ගිය බර්නදෙත් මහත්වූ කැළබිලි සහිත මනසකින් යුතුව නිවසට පියමැන්නාය.
නිවසට යන අතරතුර ඔවුන් කිසිවක් දුවුවේදැයි ඇය නැගණියගෙන් හා මිතුරියගෙන් විමසු නමුදු ඔවුන් කිසිවක් දැක තිබුනේ නැත. සිදුවීම බර්නදෙත්ගෙන් අසා දැනගත් ඔහුවූ යළි එහි නොයන ලෙස ඇවටිලි කළාය. නිවසට ගිය වහාම බර්නදෙත්ටත් පෙර සිදුවූ සියල්ල ගෙදර අයට සැලකලේ මේ දෙදෙනා විසිනි.
දේව මෑණියන් යළි යළිත් බර්නදෙත් හමුවට
1858 පෙබරවාරි 14 දා ඉරිදාවක් විය. යළිදු දර්ශනය දුටු තැනට යන්නැයි බර්නදෙත්ගේ සිත ඇයට බල කරන්නට පටන් ගෙන තිබිණි. එහෙත් බියට පත්ව ජලයට වැටි අනතුරක් සිදුවෙති’යි අම්මා බියට පත්ව සිටියාය.
දිව්‍ය පූජාව අවසානයේ පියතුමාගෙන් ආසිරි පැන් බදුනක් ලබා ගත් ඇය අම්මාගේද අවසරය ඇතිව තම සගයන් දෙදෙනාවද කැටුව ගුහාව වෙත පිය මැන්නාය. හැමදෙනාගේම අතේ ජපමාල තිබිණි. ගුහාව ඉදිරිපිට දණ හොවා ගත් ඔවුහු යාච්ඤා කරන්නට පටන් ගත්හ.
අනතුරුව ඇය ආසිරි පැන් බඳුන ගෙන ගුහාව ඉදිරිපිට ඉසින්නට පටන් ගත්තාය. එහිදී පළමු ජපමාල පන්තිය අවසන් කරත්ම ඇය දුටුවේ පෙර දවසේ දුටු ආගන්තුක කාන්තාව තමා ඉදිරියේ යළි සිටිනා බවය.
මේ දෙවිඳුන් වෙතින් පැමිණි කාන්තාවක් නම් ඇය එහි රැඳී සිටිය යුතු බවත්, නොඑසේ නම් ඇය ආපසු යා යුතු බවත් බර්නදෙත් අදහස් කළාය. අනතුරුව ආසිරි පැන් බඳුන ගෙන එම කාන්තාව දෙසට ඉසින්නට පටන් ගත්තාය. කාන්තාව ඇය දෙස සිනා පා හිස පහත් කළාය.
ඇය බඳුන අවසන් වෙන තුරුම ආසිරි පැන් ඉස්සේ බියට පත් වී සිටි බැවිනි. එහෙයින් යළි ඇය ජපමාලය උච්චාරණය කරන්නට වූවාය. ජපමාල යැදුම අවසන් වත්ම කාන්තාව අතුරුදහන් වූයේ කිසිදු වදනක් නොදොඩාය.
තුන්වන දර්ශනය සිදුවුයේ හරියටම සතියකට පසුවය. එනම් 1858 පෙබරවාරි 18 බ්‍රහස්පතින්දාය. කාන්තාව පළමු වරට බර්නදෙත්ව ආමන්ත්‍රණය කළේ මෙම දර්ශනයේදීය. ඇය එහි ගොස් සිටියේ වැඩිමාල්ලන් කිහිපදෙනෙකු සමඟය.
කඩදාසියක් සහ තීන්ත ස්වල්පයක්ද ඇය ගෙන ගොස් තිබුණි. ප්‍රකාශ කරන්නට යමක් ඇත්නම් එය කඩදාසියේ ලියා දෙන්නැයි ඇය කාන්තාවගෙන් ඉල්ලා සිටියාය. එහෙත් සිනාසුණු ඇය එම ඉල්ලීම භාර නොගෙන ප්‍රතික්ෂේප කළාය.
තවද තමා බර්නදෙත් සතුටට පත් කිරීමට අපේක්ෂා නොකරන බවද ප්‍රකාශ කළාය. එසේම දෙසතියක්ම එහි පැමිණෙන ලෙස එතුමිය ඉල්ලා සිටියාය.
සිව්වන වරට මෙම කාන්තාව බර්නදෙත්ට දර්ශනය වූයේ පසුදා එනම් පෙබරවාරි 19 දාය. පස්වන වරට එනම් 20 වන සෙනසුරාදා මෙම කාන්තාව දර්ශනය වන විට මේ නම් දේව මෑණියන්ම බව බර්නදෙත්ට ප්‍රත්‍යක්ෂ වී තිබිණි. එදින දේව අම්මා බර්නදෙත්ට යැදුමක් ඉගැන්වූ දිනයයි.
1858 පෙබරවාරි 18 දා සිට මාර්තු 04 දා දක්වා දෙසතිය තුල දෙව්මවුන් දර්ශනය වීම පිළිබඳ විස්තර බර්නදෙත් විසින් ප්‍රකාශයට පත් කර ඇති ආකාරය මෙලෙසය. “මම දෙසතියක්ම එහි ආවෙමි, එක් සඳුදාවක සහ එක් සිකුරාදාවක හැර සියලු දිනවල දර්ශන සිදුවිය. එතුමිය මට කීප වරක්ම ප්‍රකාශ කලේ පූජකවරුන් දැනුවත් කර මෙම භූමියේ දේව මන්දිරයක් ඉදි කරන ලෙසටය.”
“දිය උල්පත කරා ගොස් පවිත්‍ර වන ලෙසද එතුමිය මට දැන්වූ අතර, පව්කාර ජනතාව වෙනුවෙන් යදින ලෙසද දැන්වූවාය. මෙම දෙසතිය තුල එතුමිය මට රහසිගත කරුණු තුනක් ප්‍රකාශ කර ඒවා කිසිවෙකුට නොදන්වන ලෙස දන්වා සිටියාය. මම මේ දක්වා එතුමියට විශ්වාස වන්තව සිටිමි.”
4 වන දර්ශනය – 1858 පෙබරවාරි 19 සිකුරාදා
මෙදින බර්නදෙත් ආසිරි ගැන්වූ දැල්වෙන ඉටිපහනක්ද රැගෙන ගුහාව වෙතට ගියාය. ලුර්දු ඉටිපහන් සිරිත මේ අනුව ඇරබුනි. අද ද ලුර්දු වන්දනාකරුවෝ රාත්‍රී දර්ශනය බැතිබර ඉටි පහන් පෙරහැර භක්ති අභ්‍යාසයට මහත් බැතියෙන් සහභාගී වෙති.
5 වන දර්ශනය – 1858 පෙබරවාරි 20 සෙනසුරාදා
දේව මාතාවන් විසින් බර්නදෙත් වෙත පෞද්ගලිකව යැදුමක් ඉගැන්වූ දිනයයි. බර්නදෙත් මෙම දර්ශනය අවසානයේ තමා විශාල දුක් කන්දරාවකින් මිදුණු බව සදහන් කරයි.
6 වන දර්ශනය – 1858 පෙබරවාරි 21 ඉරිදා
මෙදින දේව මාතා දර්ශනය උදේ පාන්දර සිදුවිය. සියයක් පමණ ජනතාව එහි රැස්වී සිටියහ. පොලිස් කොමසාරිස් ජැකෝමේ බර්නදෙත් ගෙන් විමසා සිටියේ ඇය දුටු දේ පිළිබදවය.
ඒ තොරතුරු බර්නදෙත් ලියා දුන් අතර එයට පොලිස් කොමසාරිස් සාවද්‍ය තොරතුරු ඇතුලත් කළ විට බර්නදෙත් එයට එරෙහි වුවාය. කොමසාරිස්ගේ තර්ජන හමුවේ වූවද බර්නදෙත් සත්‍ය වෙනුවෙන් පෙනී සිටියාය.
7 වන දර්ශනය – 1858 පෙබරවාරි 23 අගහරුවාදා
බර්නදෙත් මෙදින පැමිණ සිටියේ 150ක් පමණ පිරිසක් කැටුවය. මෙම දර්ශනයේදී ඇයට පමණක් පෞද්ගලික වූ රහසක් හෙළිදරව් කරන බව සදහන්ව තිබුණි.
8 වන දර්ශනය – 1858 පෙබරවාරි 24 බදාදා
මෙදින බර්නදෙත් වෙත දෙව් මවුන් විශේෂ පණිවුඩයක් ඉදිරිපත් කළාය. “පව්කාර වූ ජනතාව වෙනුවෙන් දෙවිදුන් යදින්න. පව්කාර වූ ජනතාව වෙනුවෙන් වන්දියක් වශයෙන් භූමිය සිපගන්න.” ඒ පණිවුඩයයි.
මෙදින දෙව් මවුන් ඉදිරිපත් කල ප්‍රධාන පණිවුඩය පව්කාර ජනතාව වෙනුවෙන් වන්දි ගෙවීමය. මෙහිදී වන්දි යන අරුත ඇති Penance යන වදන එතුමිය තුන් වරක් ප්‍රකාශ කළ බව සදහන්ය.
9 වන දර්ශනය – 1858 පෙබරවාරි 25 බ්‍රහස්පතින්දා
තුන්සියයක් පමණ පිරිස රැස්ව සිටියහ. බර්නදෙත් වෙත දේව මෑණියන් දිය උල්පත අනාවරණය කරන ලද්දේ මෙදිනය. ලූර්දු ජලය පානය කිරීමටද ඉන් පවිත්‍ර වීමටද අසල වූ පැලෑටි කිහිපයක් අනුභව කිරීමටද බර්නදෙත් වෙත දේව මෑණියෝ උපදෙස් දුන්හ.
25 හෝ 26 වැනිදා නීති නිලධාරියාගේ නිවසට බර්නදෙත් කැදවනු ලැබිණි. එහිදීද සියලු තොරතුරු ලිඛිතව ලබා දීමට ඇයට සිදුවිය. එහිදී ඇය සිර මැදිරියක රදවන ලදී. ඇයගේ මව හඩන්නට වූ අතර “අප කාටවත් වරදක් කර නැතැයි” බර්නදෙත් සිය මව සනසුවාය.
එසේම ඇය මේ දේ කරන්නේ මෝඩකමට දැයි විමසු ජනතාවට ඇයගේ පිළිතුර වුයේ “නැත ලොව පුරා පවුකාර ජනතාව වෙනුවෙනි” යන්නය.
10 වන දර්ශනය – 1858 පෙබරවාරි 27 සෙනසුරාදා
අටසියයක් ජනතාව රැස්ව සිටියහ. ලූර්දු දර්ශනය නිහඩව සිදුවිය. බර්නදෙත් දිය උල්පතින් දිය බිදක් පානය කරනු ජනතාව දුටුවෝය.
11 වන දර්ශනය – 1858 පෙබරවාරි 28 ඉරිදා
දෙදහසකට වඩා ජනතාව රැස්ව සිටියහ. බර්නදෙත් යාච්ඤා කළාය. දෙදණ හොවා පොලොව සිප ගනිමින් පවුකාර වූ ජනතාව මෙනෙහි කළාය. මෙම දර්ශනය අතරතුර විනිශ්චයකාර රිබ්ස් ගේ නිවස කරා කැදවාගෙන යනු ලැබූ ඇය සිරගත කරන බවට එහිදී තර්ජනය කෙරිණි.
12 වන දර්ශනය – 1858 මාර්තු 1 සදුදා
පළමු වරට පුජකතුමෙකුද ඇතුලත්ව 1500ක් පමණ පිරිසක් පැමිණ සිටියහ. නිල වශයෙන් පිළිගෙන ඇති පළමු ලූර්දු ප්‍රාතිහාර්යය සිදුවුයේ මෙදිනය. ඒ ලුර්දු හි කැතරින් ලතාපි මහත්මිය සුවය ලැබීමේ අත්දැකීමයි.
13 වන දර්ශනය – 1858 මාර්තු 2 අගහරුවාදා
රැස්වෙන ජනතාව දිනෙන් දින වැඩිවන බව පෙනුනි. මෙදින දර්ශනයේදී දේව මෑණියෝ නැවතත් බර්නදෙත් ඇමතූහ. “ඔබ ගොස් පුජකවරුන්ට පවසන්න මෙහි දේව මන්දිරයක් ඉදිකරන ලෙස”. ඒ අනුව බර්නදෙත් මීසම් පාලක ගරු පෙයර්මේල් පියතුමා හමුවූවාය.
එම ආගන්තුක කාන්තාවගේ නම කුමක්දැයි විමසු පියතුමා තවත් පරීක්ෂණයක් අවශ්‍ය බව දැන්වූයේය. එනම් ශිත සෘතුව මැද භාගයේ ගුහාවේ වල් රෝස පදුරක් දැකීමට තමා කැමති බවයි. පියතුමා සත්‍යය දැකීමට තමා කැමති බවය.
පියතුමා සත්‍යය පිළිගැනීමට දෙව්මවුන්ගේ ප්‍රාතිහාර්යයක් අපේක්ෂා කරන බව පෙනෙන්නට තිබිණි.
14 වන දර්ශනය – 1858 මාර්තු 3 බදාදා
තුන්දහසක් පමණ එහි වුහ. බර්නදෙත්ද උදෑසන 7 සිටම පැමිණ සිටි නමුදු දර්ශනය සිදුවුයේ නැත. පසුව ඇයට දේව මාතාවන් කතා කළාය. ඇය ගුහාව වෙතට ගියාය.
එතුමියගේ නම කුමක්දැයි විමසු විට ලැබුණු පිළිතුර මද සිනහවකි. දෙව් මැදුර ඉදිකිරීමට නම් ඇයගේ නම මෙන්ම ගුහාවේ රෝස පදුරක් දැකීමට තමාට අවශ්‍ය බව පියතුමා සිහිපත් කල බව කියා සිටියාය.
15 වන දර්ශනය – 1858 මාර්තු 04 බ්‍රහස්පතින්දා
පිරිස අටදහසකි. දෙසතිය අවසාන වන දිනයයි. දර්ශනය නිහඬව සිදුවිය. අනතුරුව දින 20 ක්ම නිහඬව ගත විය. ඇය ගුහාව වෙත නොගියාය. ඇය පාසල් ගොස් ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාද ලැබීම සදහා සූදානම් වූවාය. දිය උල්පතේ කතාව බර්නදෙත්ගේ වචන වලින් මෙසේය.
“මා ගොස් දිය උල්පතෙන් ජලය පානය කළ යුතු බවට හා ඉන් සෝදා පවිත්‍ර විය යුතු බව එම උත්තමාවිය මට උපදෙස් දුන්නාය. දිය උල්පතක් දක්නට නොවීය. එබැවින් මම ජලය පානය කිරීම සදහා ගලා යන ජල දහර වෙත පිය මැන්නෙමි.
දිය උල්පත එතැන නොවන බව ප්‍රකාශ කල එතුමිය ඇඟිල්ල දිගු කොට මට පෙන්වුයේ මා ගල් කුළ යටට යා යුතු බවය. එහි ගිය මට මඩ පාට දියෙන් පිරි කුඩා දිය උල්පතක් හමුවූ අතර එහි වූයේ මාගේ දෝතට ගත හැකි තරම් දිය ස්වල්පයකි.
එහෙත් එතුමියට කීකරු වූ මම දෑතින් දිය උල්පත හෑරුවෙමි. එවිට ජලය මතුවිය. ජලය අපවිත්‍ර ස්වභාවයේ පැවති බැවින් දෙවරක්ම මම ඒවා ගෙන ඉවත විසි කලෙමි කළෙමි. මට ජලය පානය කල හැකි වූයේ හතරවන වරය.
එදා සිට මේ දක්වා වසරකට ලක්ෂ 3 1/2 ක් ඉක්මවූ ජනතාවක් ලූර්දු වතුර ස්නානය හා පානය සදහා ලූර්දු නුවරට පැමිණෙති. ඒ දේව මාතාවන්ගේ මධ්‍යස්ථ කමින් සුවය ළඟා කර ගනු සදහාය.
ඉන්පසු දර්ශනය අතුරුදහන් වූ අතර මම ආපසු නිවාස බලා ගියෙමි” මෙලෙස ලූර්දු ජලය පානය කිරීමට හා ඉන් පවිත්‍ර වීමට බර්නදෙත් වෙත මරිය මෑණියන්ගේ උපදෙස් ලැබුණේ නම වන දර්ශනය සිදු වූ 1858 පෙබරවාරි 25 දාය. එහෙත් දෙව් මවුන් පාමුල වල් රෝස පඳුරේ මල් පිපී තිබුණේ නැත.
16 වන දර්ශනය – 1858 මාර්තු 25 බ්‍රහස්පතින්දා
16 වන ලූර්දු දර්ශනය සිදු වූ 1858 මාර්තු 25 ඉරිදා දිනය ඉතා වැදගත්ය. තමන් කවුරුන්ද යන වග මෙම උත්තමාවිය බර්නදෙත් වෙත පැහැදිලි කර දෙන ලද්දේ එදිනය. “මම ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිලිසිදුණ කන්‍යාව වෙමි” යි එතුමිය බර්නදෙත් වෙත වදාළේ ය.
17 වන දර්ශනය – 1858 අප්‍රේල් 07 බදාදා
මරිය තුමිය ඉන්පසු 17 වන වරට 1858 අප්‍රේල් 07 වන බදාදා ද අවසන් වරට 1858 ජූලි 16 බ්‍රහස්පතින්දා ද බර්නදෙත් වෙත දර්ශනය වූවාය.
17 වන දර්ශනය අවස්ථාවේදී අප්‍රේල් 7 දා බර්නදෙත් අතවූ ඉටිපහන සම්පූර්ණයෙන් දැල්වී අවසන් වුවද ඇයගේ ඇත පිලිස්සුනේ නැත. වෛද්‍ය ඩවුසස් (Douzous) මේ පිළිබඳව සාක්ෂි දරයි. අවසාන දර්ශනය අවස්ථාවේ ගුහාවට යන මග අවහිර කර තිබු බැවින් ඇය ගියේ සිය නැන්දා වන ලුසිල් සමග වෙනත් මගකිනි.
තමා එදින අන් කවරදාට වඩා ලස්සනට දේව මාතාව දුටු බව බර්නදෙත් පැවසුවාය. එදින කර්මෙල් දේව මාතා මංගල දිනයද විය. මෙම දේව මාතා දර්ශනයන් පිලිබඳ සැක සංකා නොතිබුනා නොවේ.
ඉහළින් ලැබුණු නියෝග මත 1858 මාර්තු 27 දා බර්නදෙත් වෛද්‍යවරුන් තිදෙනෙකු වෙත ඉදිරිපත් කරන ලදී. අරමුණ වූයේ ඇය මානසික උපතු බවකින් නන්දොඩවනවා දැයි තීරණයක් ලබා ගැනීමටය. එහෙත් බර්නදෙත් ඉතාම සාමාන්‍ය නිරෝගී දැරියක බව වෛද්‍ය පරීක්ෂණයෙන් හෙළිවිය.
“ඔවුන් මා රෝගී අයකු බව පිළිගැනීම අපේක්ෂා කළාය. ඒත් මම කිසිසේත් රෝගී නොවෙමි. මම එම පරීක්ෂකවරුනට කිසි ලෙසක බිය නොවුනෙමි. පොලිස් හෝ නීති නිලධාරීන්ට ද මම බිය නොවුනෙමි”. ඇය පරීක්ෂණය අවසාන තම මිතුරනට පැවසුවාය.
එසේම මේ වන විට ඇය ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලැබීම සදහා ඉගෙන ගනිමින්ද සිටියාය.
17 වන දර්ශනය සිදු වූ 1858 අප්‍රේල් 07 බදාදා විද්‍යාත්මක නිරීක්ෂකයෙකු ලෙස වෛද්‍යවරයා සදහන් කර ඇත්තේ “දැන් මම විශ්වාස කරමි” යනුවෙනි.
ජුනි 3 වන බ්‍රහස්පතින්දා බර්නදෙත්ගේ ජීවිතයේ ඉතා වැදගත් දිනයක් විය, ඒ දිගු කලක් පෙරුම් පිරූ ඇයගේ පැතුමක් සැබෑවිමයි. එදින ඇය මුල්වරට ජේසූ ලැබුවාය. ඒ දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍ය දිනයද විය.
ජුනි මාසයේ දීම ලූර්දුවේ නගරාධිපතිවරයා මෙම ගුහාවට යන මං වසා දැමීමට නියෝග කළේය. එහෙත් බාධක ඉදි වූවා සේම යළි ඒවා ඉවත් කිරීමටද ඔහු විසින් පියවර ගැනිණි.
කවර බාධක පැවතියද සත්‍ය දොරගුළු දමා වාසිය නොහැකිය. ඒ නිසාම එදා සිට අද දක්වා ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් ලූර්දු පුදබිමට පැමිණ සහනය ශාන්තිය ලබා ගන්නා බව කිව යුතුය.
බර්නදෙත් විසින් ප්‍රකාශ කරන ලද කරුණු විශ්වාස කල අය මෙන්ම ඒවා ඇයගේ නන් දොඩවිලි ලෙස සැලකුවෝද වූහ. එහෙත් 1862 ජනවාරි 18 දා ටාබස් හි රදගුරු මොන්සිඤ්ඤොර් ලෝරන්ස් හිමිපාණෝ දීර්ඝ පරීක්ෂණ ගණනාවකට පසුව ලූර්දු සිදුවීම් සත්‍ය බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කළහ.
එයින් අනතුරුව ලූර්දු ගුහාව කරා ඇදෙන සැදැහැවතුන් සංඛ්‍යාව දිනෙන් දින වැඩි වූ අතර, බර්නදෙත් හමුවන්නට උත්සහ කරන අය, ඇයට සවන් දී වැඩි තොරතුරු දැන ගැනීමට ප්‍රයත්න දරන අයද බොහෝ වූහ.
බර්නදෙත් නිතර රෝගාබාධවලට ගොදුරු වූ සාමාන්‍ය දැරියක වූවාය. 1862 මාර්තු අවසානය වන විට ඇය නිව්මෝනියා රෝගයට ගොදුරුව සිටියාය. අප්‍රේල් 20 පාස්කු දා වන විට ඇය තරමක සුවය ලැබද ගුහාව වෙත ද ගියාය. එහෙත් යළි රෝගී තත්වය උත්සන්නව නිව්මෝනියාව පෙනහළු දෙකට බලපා ඇතැයි වෛද්‍යවරු තීරණය කළහ.
ඒ අනුව අප්‍රේල් 28 දා ඇයට රෝගීන්ගේ ප්‍රසාද නිධානය – අන්තිමාලේපය දානය කරන ලදී. එහිදී දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගත් සැනින් ඇයගේ ස්වසන තත්වය යහපත් අතට හැරිණි. “මට සුවයි හරියට මගේ පපුව උඩ තිබුන කන්දක් අහකට අරන් දැම්මා වගේ” බර්නදෙත් සතුටින් ප්‍රකාශ කළාය.
1863 සැප්තැම්බර් 20 දා නේවර්ස් හි රදගුරු මොන්සිඤ්ඤොර් පෝකේඩ් හිමිපාණෝ බර්නදෙත් හමුවූහ. එතුමා බර්නදෙත්ගෙන් විමසුවේ ඇයගේ අනාගත සැලසුම් පිළිබදවය. “ඔබ කන්‍යා සොයුරියක් නොවන්නේ ඇයි?” රදගුරු තුමා විමසීය. “නේවර්ස් හි පැවිදි සොයුරියක් වීම ගැන හිතන්න” රදගුරු තුමා ඇයට යෝජනා කළේය.
“මම දුප්පත්, නිතරම රෝගී වෙනවා ඒ වගේම මම නූගත්”.
රදගුරුතුමා දිනකිපයකට පෙර නේවර්ස් හි ප්‍රධාන මව්තුමිය වු ලොයිස් මව්තුමියට තම යෝජනාව ඉදිරිපත් කළේය. එතුමිය පැකිලීමකින් තොරව ම රදගුරුතුමා සමග එකඟ විය.
එසේ වුවද 1864 මාර්තු අවසන් වන විට බර්නදෙත් යලි රෝගාතුරු වුවාය. ඇය ඉක්මනින් මියයනු ඇතැයි බොහෝ දෙනා සැක පල කළහ. 1864 අප්‍රියෙල් 4 වන දා ලූර්දු දර්ශනය පිළිබඳව අනුස්මරණ දේශන මෙහෙය වනදා ඇයට සිය රෝගී තත්වය නිසා එයට සහභාගී වීමට හැකි වුයේ නැත.
මේ අතර තරමක සුවය ලද පසුව ඇය පැවිදිවරයට එක්වීමට කැමැත්ත පළකිරීමට තීරණයකට එළබුනාය. ඒ 1858 අප්‍රියෙල් මාසයේ 8 වන දා සිය තීරණය මුලින්ම ලූර්දු නගරාධිපතිවරයාට දැන්වූ ඇය ප්‍රකශ කලේ තම කැමැත්තට මවගේ හා පියාගේ ආශීර්වාදය අවශ්‍යය බවය.
කාමලයිට් තාපසිකාවක් වීමේ අදහස අත්හල ඇය 1861 දී දේව දයාවේ සොයුරියක් වීමට සිතා ගත්තාය. ඇය පැවිදිවරයට එක්වීමට අවසාන තීරණයට එළබුනේ 1866 අප්‍රියෙල් මාසයේ දිනකදීය. ඊට පෙර 1864 අප්‍රියෙල් 4 දා නෙවර්ස් වෙත ගොස් පැවැදි වීමට ඇය කැමති වුවද රෝගීබව ඊට හරස් විය.
ලූර්දු බැසිලිකාවේ ගුහාව නිලවශයෙන් විවෘත කිරීම 1866 මැයි 21 දාට යොදා ගැනීමට මොන්සිඤ්ඤොර් ලෝරන්ස් හිමිපාණෝ කටයුතු යොදා තිබුණි. එතුමා මෙම අවස්ථාවට බර්නදෙත් කැඳවීමට කටයුතු කර තිබුණි. උත්සවයට පැමිණි ජනතාව බර්නදෙත් ස්පර්ශ කිරීමටද ඇයගේ වේලයෙන් කොටසක් කඩා ගැනීමටද තැත් කල බවද වාර්තා වී තිබේ.
1866 ජූලි 3 අගහරුවාදා තමන්ට දේව අම්මා මුණ ගැසුණු ලූර්දු ගුහාවා පිය මැන්නාය. එය නේවර්ස් හි කන්‍යාරාමයට ඇතුළු වීම සදහා දේව අම්මාගේ ආශිර්වාදය ලබා ගන්නටය. ඇය එහි දිගු වේලාවක් යාච්ඤාවේ යෙදුනාය.
අනතුරුව නිවසට පැමිණ පවුලේ සාමාජිකයින් සමඟ ආහාර ගනිමින් සතුටින් කාලය ගත කාලය. ඒ ඇය සිය නිවසේ ගත කල අවසාන රාත්‍රිය විය. පසුදින ලූර්දුවේ සිට නේවර්ස් දක්වා දීර්ඝ ගමනක යෙදීමට ඔවුහු සැලසුම් කොට තිබුණි. ඒ කිලෝ මීටර 705ක් පමණ දුරකි.
හතරවනදා උදෙන්ම බර්නදෙත් සිය වැඩිමහල්ලන් ද සමඟ දුම්රියට නැගුනේ නේවර්ස් බලා යාම සදහාය. දුම්රිය ලූර්දු ගුහාව ප්‍රදේශය පසු කරද්දී ඇය අවසන් වරට ඒ දෙසට ආචාර කළාය. ටොයිනට් සහ ඇයගේ ආත්මික මෑණියන් වූ පියරේ ද දුම්රිය පොළට පැමිණ සිටියහ.
ඇය නේවර්ස්හි ගිල්ඩාඩ් කන්‍යාරාමයට ඇතුළු වුයේ 1866 ජුලි 7 දාය. බර්නදෙත් තුමිය මුලින්ම කන්‍යාරාමයේ එදිනෙදා කටයුතු වලට සහය වීමත් අකුරු ඉගෙන ගැනීමත් ගෙතුම් වලත් යෙදුනාය.
එම වසරේම දෙසැම්බර් 8 දා තම මෑණියන්ගේ වියෝව සිදුවූ අතර එය බර්නදෙත් තුමිය වෙත දන්වන ලද්දේ 10 වනදාය. කන්‍යරාමයේදී ඇය වරින් වර රෝගාතුර වුවාය. මේ අතර 1871 මාර්තු 4 දා සිය පියාණන්ගේ මෙලොව හැර යාමද බර්නදෙත් තුමිය තව දුරටත් ශෝකයට පත් කළේය.
නේවර්ස්හි ගිල්ඩාඩ් කන්‍යාරාමයේ මාරි තේරෙස් වෝසු කන්‍යා සොයුරියගේ මාර්ගෝපදේශකත්වය හා ප්‍රධාන මවු තුමියගේ අධික්ෂණයන් යටතේ අකුරු ඉගෙන ගෙන ලියන්නට කියවන්නට ඇයට අවකාශ සැලසිණි.
ඒ අනුව අයහපත් සෞඛ්‍යය තත්වය නිසා කාමලයිට් තාපසිකාවක වීමේ අදහස අත්හැර දමන්නට සිදුවී තිබුණද දේව දයාවේ කන්‍යා සොහොයුරියක ලෙස 1866 ජුලි 29 දා තවත් හතලිස් දෙදෙනෙකු සමග දේව සේවයට පැවදි වරියක් ලෙස එක්වන්නට මෙතුමියට හැකිවිය.
මෙතුමියට මාරි බර්නාඩ් යන පැවිදි නාමය ප්‍රධාන මවුතුමිය විසින් ප්‍රදානය කරනු ලැබිය. කන්‍යාරාමය තුලදී මැහුම් ගෙතුම් කටයුතු වලට වඩාත් නැබුරු වූ මෙතුමිය පුජාසන හා පුජක ඇදුම් සදහා එම්බ්‍රොයිඩර් සැකසීමට වඩාත් හැකියාවක් පෙන්වූවාය.
ලූර්දුවෙන් පැමිණියද ලූර්දුවේදී තමා වෙනුවෙන් යදින ලෙසද තමා ගතින් නොව සිතින් එතරම් ආදරය කල ගුහාව පාමුල සිතින් සිටින බවද ඇය සිය සොයුරියනට ප්‍රකාශ කර තිබිණි.
“දෙව් මවුන් දූවිලි ඉවත් කරනු සදහා මා මුස්නක් ලෙස යොදා ගත්තාය. එම කාර්යය අවසාන වූ විට මුස්න යළි දොර මුල්ලේ තබනු ඇත” වරක් දේව මාතා දර්ශනය පිළිබද විමසු අවස්ථාවක එතුමියගේ පිළිතුර විය.
එහෙත් එතුමිය ලූර්දුව අමතක කලේ නැත. දේව මාතාවන් දර්ශනය වූ අවස්ථාවක පුජක තුමන්ලා දැනුවත් කර දේව මන්දිරයක් ගොඩ නංවන ලෙස බර්නදෙත් තුමියට උපදෙස් දුන් බව අපි කලින් සදහන් කළේය.
එතුමිය ලූර්දුවේ පුජකතුමන්ලා වෙතින් කරන ලද ඉල්ලීම් අනුව එකක් නොව දේව මන්දිර කිහිපයක් ලූර්දු පුදබිමේ ඉදි කරන ලදී.
ඒ අනුව අද වන සිට ලක්ෂ 50ක් ඉක්මවූ සැදැහවතුන් පිරිසක් මේ පුද බිම කරා රොක් වෙති. මෙහි දසවන පියුස් බැසිලිකාව 23 වන ජුවාම් පාප්තුමා ප්‍රංශයේ අපෝස්තුලික තානාපති ලෙස ශුද්ධාසනයට පත්වීමට පෙර සේවය කල සමයෙහි අභිෂේක කරන ලද අතර එහි පමණක් 25000 ක් වන්දනාකාර පිරිසකට ඉඩකඩ සැලසේ.
බර්නදෙත් තුමිය ක්ෂය රෝගයටද ගොදුරුව ගිලන් වූ බැවින් 1876 දී ලූර්දුවේ නිර්දෝෂව පිලිසිදීමේ බැසිලිකාව අභිෂේක කිරීමේ උත්සවයට සහභාගී වීමේ වරම් නොලද්දීය. ස්වර්ගස්ථ වීමට පෙර මාස කිහිපයක් කන්‍යාරාමයේ කටයුතු වලට ක්‍රියාකාරී ලෙස සහභාගී වීමට බර්නදෙත් තුමියට අවකාශය සැලසුනේ නැත.
“භාග්‍යවත් මරියනි, දේව මාතාවෙනි, මා නිසා යාච්ඤා කල මැනව. දුගී පව්කාර මා නිසා යාච්ඤා කළ මැනව” යන යැදුම ජපමාලය උච්චාරණය කරමින් සිටි එතුමියගේ මුවින් පිටවුයේ එතුමියගේ අවසාන යැදුම ලෙසය. ඒ 1897 අප්‍රේල් 16 වනදාය. දෙවිදුනට ඉතා ප්‍රසන්න යහපත් ජීවිතයක් ගත කළ එතුමිය වයස අවුරුදු 35 දී දෙව් මව් තුරුල සොයා ගියාය.
ස්වර්ගස්ථ වීමෙන් වසර 30 කට පසුව 1909 සැප්තැම්බර් 22 දා නේවර්ස් හි රදගුරු ගෝදි හිමිපාණන් හා වෛද්‍ය විශේෂඥයන් ගෙන්ද සමන්විත කණ්ඩායමක් විසින් ගිල්ඩාඩ් කන්‍යාරාමයේ තැම්පත් කර තිබු බර්නදෙත් තුමියගේ සිරුර ගොඩ ගන්නා ලදී. සිරුර මත තබා තිබු කුරුසිය හා ජපමාලය මල බැදී තිබුණත්, සිරුර නොදිරා පැවතිණි.
නැවත වතාවක් 1919 අප්‍රේල් 3 වනදා විශේෂඥ කණ්ඩායමක් විසින් සිරුර පරික්ෂාවට භාජනය කරන ලදී. නැවත 1925 දී තෙවන වරටත් පරීක්ෂණයක් සිදු කරන ලදී. මේ සියලු පරීක්ෂණ සනාථ කලේ එතුමියගේ සිරුර කිසිදු රසායනික ද්‍රව්‍යයක් නොයොදා නොදිරා තිබෙන බවයි.
අදත් මේ නොදිරු සිරි සිරුර ගිල්ඩාඩ් කන්‍යාරාමයේ කුඩා දෙව් මැදුරේ පුදසුනට වම් පසින් දැකබලා ගත හැකිය. ඒ ඉදිරිපිට දෙදණ හොවා යැදුමක් කිරීමට ඔබට අවකාශය සැලසේ.
1925 ජුනි 14 දා මෙතුමිය xi වන පියුස් පාප්තුමන් විසින් භාග්‍යවරයටද 1933 දෙසැම්බර් 8 දා ශුද්ධවරයටද ඔසවන ලදී.
“භාග්‍යවත් බර්නදෙත් තුමිය සාන්තුවරයට එසවීමේ තීන්දුවේ ප්‍රතිඵලය අපි මෙසේ ප්‍රකාශ කර සිටිමු. අපි ඇයගේ නාමය සාන්තුවර ලිතට ඇතුලත් කරමු. එතුමියගේ වාර්ෂික අනුස්මරණ මංගල්‍යය දිනය එතුමිය ස්වර්ගීය උපත ලැබූ අප්‍රේල් 16 දින ලෙස සලකන මෙන්ද නියෝග කරමු” XI වන පියුස් සුදොතුම් පියාණන්ගේ හඩ රෝමයේ ශාන්ත පීතර බැසිලිකා භූමිය පුරා නින්නාද වූයේ ලක්ෂ සංඛ්‍යත ජනතාවයේ ඔල්වරසන් මැදය. ඒ අතර මරිය මාතාවන්ගේ උදාන ගීය හා හොරණෑ නාදය සමග ශාන්ත පීතර බැසිලිකාවේ සීනු නාද කරන්නට පටන් ගත්තේය.
1862 දී එවක සුදොතුම් පියාණන් වූ ix පියුස් පාප්තුමා දේව මෑණියන්ට ලූර්දු මාතාවන් ලෙස ගෞරව දැක්වීමට අවසරය රදගුරු බර්ටුන්ඩ් ලෝරන්ස් හිමිපාණන් වෙත ප්‍රදානය කරනු ලැබීය. එදා මෙදා තුර ලූර්දු මෑණියෝ සිය පුත්‍රයාණන් හා අපගේ ස්වාමින්ද වන ජේසු සමිදුන්ගේ මැදහත් කමින් අප වෙත ආසිරි වැසි වස්සමින් අපගේ රැකවරණය බවට පත් වී ඇත.
ලූර්දුවේ හාස්කම්
ලූර්දුවේ ප්‍රාතිහාර්යාත්මක ජල උල්පත පිළිබදව බර්නදෙත් තුමිය වෙත දන්වන ලද්දේ 1858 පෙබරවාරි 25 වන බ්‍රහස්පතින්දා සිදුවූ නවවන දර්ශනය අවස්ථාවේදීය. ලූර්දු ජලයෙන් පවිත්‍ර වීමටත් එම ජලය පානය කිරීමටත් එදින දේව මාතාවෝ බර්නදෙත් තුමිය වෙත දන්වා සිටියාය.
එදා මෙදා තුර ලක්ෂ සංඛ්‍යාත සැදැහැවත්තු දේව මවුන් විසින් වදාළ පරිදි ලුර්දු ජලය පානය කිරීමට හා ඉන් පවිත්‍ර වීමටත් එමගින් දේව මාතාවන්ගේ මධ්‍යස්ථකමින් දෙවිදාණන් වෙතින් සුවය ලැබීමටත් ලූර්දු නුවර කරා එක්රොක් වෙති. මෙලෙස වසරක් තුල පැමිණෙන සැදැහැවතුන් සංඛ්‍යාත්මකව මිලියන පහක් ඉක්මවන බව වාර්තාගතය.
ලූර්දු ජලයේ ප්‍රාතිහාර්යාත්මක බලයෙන් සුවය අත්දුටුවන් පිළිබදව වාර්තා වන්නේ බර්නදෙත් තුමිය ජීවමානව සිටි සමයේ සිටමය. එදා මෙදා තුර එවන් හාස්කම් දහස් ගණනක් වාර්තා වී ඇත.
නිල වශයෙන් පිළිගෙන ඇති පළමු හාස්කම 1858 මාර්තු 1 වනදා සිදුවුවකි. 38 වියේ පසුවූ ගෘහනියක වූ කැතරින් ලතාප මහත්මිය ලූර්දුවේ සිට කි.මී 6ක් පමණ දුරින් වූ ලුබජැක් නම්වූ කුඩා ගමක විසූ සිව් දරු මවක වුවාය. ඇයගේ දරු දෙදෙනෙකුම කුඩා වියේදීම මරු තුරුලට ගොස් තිබිණි.
ඇය ගසකට නැගීමේදී ඉන් ඇද වැටීම නිසා දකුණු බාහුව බිදී හන්දිය පැනීම නිසා ආබාධිත තත්වයේ පසුවූයේ වසර දෙකක පමණ සිටය. මේ නිසා දකුණත නිසි පරිදි ක්‍රියා නොකරන තත්වයකට පත්ව තිබු අතර ඇගිලි කිහිපයක් සම්පුර්ණයෙන්ම අකර්මණ්‍යව පැවතින.
මාර්තු පළවනදා උදේ අවදි වූ ඇයට හැගුනේ කවුරුන් හෝ ලූර්දුවේ මසබියල් පව්ව වෙත ගොස් සුවය අත්දකින ලෙස ඇයට ආරාධනා කරන බවකි. සිය දරු දෙදෙනාද සමග ලූර්දු කරා පැමිණි ඇය බර්නදෙත් තුමියද හමුවී කථිකා කරගෙන මසබියල් පව්වේ දිය උල්පත වෙත පැමිණියාය.
දිය බුබුලට දෑත් දැමු ඇය දේව මෑණියන්ට යාච්ඤා කලාය. ආශ්චර්යයකි. අක්‍රීයව පැවති ඇයගේ ඇගිලි පෙර මෙන් යලි සක්‍රීය වන්නට විය. දකුණත වැඩ කළ හැකි තත්වයකට පත්විය. මේ නම් දේව බලයෙන් සිදුවූ හාස්කමක් මැයි වටහාගත් ඇය අතිශය ප්‍රීතිප්‍රමෝදයට පත්ව ස්තුති යාච්ඤාවේ යෙදුනාය.
දරු ප්‍රසුතියකටද ආසන්නව සිටි කැතරින් ප්‍රකාශ කර ඇත්තේ ජලයට අත දැමු සැනින් තමනට විස්තර කළ නොහැකි තරමේ අමුතු හැගීමක් ආවේගශ්‍රිලි බවක් දැනුනු බවය.
මොන්ට්පේලියර් වෛද්‍යය පීටයේ මහාචාර්යය වෛද්‍ය වර්ගීස් ප්‍රමුඛ විශේෂඥ කණ්ඩායමක් මෙම සිදුවීම ගැන දිගින් දිගටම පර්යේෂණ පැවැත්වූ අතර සාමාන්‍ය වෛද්‍යය ඥානයෙන් වටහාගත නොහැකි ප්‍රාතිහාර්යය 1862 ජනවාරි 18 වන දින ටාබස් හි රදගුරු ලෝරන්ස් හිමිපාණන් විසින් නිල වශයෙන් පිළිගත් බව ප්‍රකාශයට පත් කෙරිණි.
ලූර්දුවේ හාස්කම් – දෙවන ලූර්දු ප්‍රාතිහාර්යය
නිල වශයෙන් පිළිගෙන ඇති දෙවන ලූර්දු ප්‍රාතිහාර්යය 54 වියැති දෑස් අඳ අයකු විස්මිත ලෙස සුවය ලැබීමකි. එම සිදුවීමට වාසනාව ලද්දේ ප්‍රංශයේ ලූර්දු හි ලුවී බවරෙට් මහතාය. වසර දෙකක සිට සිය දකුණු ඇසෙහි අන්ධ භාවයෙන් පීඩා විඳි ඔහු වෘත්තියෙන් කම්කරුවෙක් විය.
ඒ ඊට වසර 18ට පෙර ඔහු අත්දුටු හදිසි අනතුරක අතුරු ඵලයක් ලෙසිනි. එම අනතුරේදී ඔහු සමඟ සිටි සොහොයුරු ජෝශප්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වුවද ලුවී ජීවත් වීමේ වරය ලද්දේය.
ලුවී මෙලෙස ප්‍රකාශ කර ඇත. “බර්නදෙත් මසබියෙල් පව්වේ මඩකඩිත්ත දෝතින් හෑරූ දිය උල්පත මතු කර ගත් විගස මා කල්පනා කලේ මේ ජලයෙන් මගේ ඇස සුව කර ගත හැකිද යන වගය. මම එම ජලය ස්නානය කළෙමි. යළි යළිත් ස්නානය කලෙමි. දණින් වැටී දෙවි මවුන් යැදිමි.
විස්මිත ලෙස මගේ ඇසට යලි පෙනීම ලැබිණි.” 1858 මාර්තු මාසයේම වූ මෙම ප්‍රාතිහාර්යය මොන්සිඤ්ඤොර් ලෝරන්ස් හිමිපාණන් විසින් පත් කෙරුණු වෛද්‍ය ඩෝසයුස් මූලිකත්වය දැරූ පරීක්ෂණ මණ්ඩලය විසින් විමර්ශනය කෙරිණි.
1860 අප්‍රේල් මස මොන්ටිපේලියර් වෛද්‍ය පීඨයේ මහාචාර්ය හෙන්රි වර්ගීස් මෙය ප්‍රාතිහාර්යයක් බව තහවුරු කළේය. 1862 ජනවාරි මස මොන්සිඤ්ඤොර් ලෝරන්ස් හිමිපාණන් මෙය ප්‍රාතිහාර්යයක් බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.