මඩු හි අප ස්වාමිදූගේ යාච්ඤාව

|

මරුද මඩු නම් වන්දනා ස්ථානය ඔබවහන්සේගේ දයාසනය කරගෙන වැඩ සිටින්නාවූ ශුද්ධවූ ජපමාල මාතාවෙනි, පරලෝක භුලෝක රාජෙශ්වරියනි දුඛිතයන්ගේ සැනසීමෙනි, පව්කාරයන්ගේ සුරක්ෂිතධාරයෙනි, අපි ඔබවහන්සේගේ මධුර මනෝහර සම්මුඛය සොයා ආවෙමු.

ඔබවහන්සේගේ කරුණාව ලබා ගනු පිණිස මෙහි පැමිණියෙමු. ඔබවහන්සේගේ ශ්‍රී මුහුණ මණ්ඩලය බලා ඔබ වහන්සේට කන්නලව් කියා යාච්ඤා කරමු.

මෑණියනි, අපේ මෙලොව ස්වාමිදුව ඔබ වහන්සේ නොවේදෝ? අපේ රක්ෂා ස්ථානය ඔබවහන්සේ නොවේදෝ? අපේ සුමිහිරි මෑණියෝ ඔබවහන්සේ නොවේදෝ? අපේ ප්‍රීතියත් බලාපොරොත්තුවත් ඔබවහන්සේ නොවේදෝ?

ඔබවහන්සේ අපේ මෑණියන් බව පෙන්වා වදාළ මැනව. දරුවන්ගේ වැරදි මෑණියෝ බරපතල කොට සලකත්ද? ඔබවහන්සේව සොයා ආ අසරණයන්ට පිහිටවුව මැනව. අඩන්නන් වැළද ගත මැනව. ශෝක පත්වූවන් සැනසුව මැනව.

ඔබවහන්සේ අනුකම්පා නොකරන සේක් නම් අපට වෙන කවරෙක් අනුකම්පා කරත්ද? ඔබවහන්සේ පිහිට නොවන සේක් නම් වෙන කවරෙක් පිහිට වේද? ඔබවහන්සේ ආධාර නොකරන සේක් නම් අපට වෙන කවරෙක් ආධාර කරත්ද? ඔබවහන්සේ අප සිහිනොකරන සේක් නම් අපව වෙන කවරෙක් සිහිකරත්ද?

ඔබ සරණය කරා දිව එන ගැත්තන්ට කරුණා කළ මැනව. මෑණියනි, දයා සාගරයෙනි, පිපාසයෙන් තැවෙන්නන්ගේ ජලාශයෙනි, අසරණයන්ගේ සරණයෙනි, අපි ඔබවහන්සේගේ සම්මුඛය සොයා ආවෙමු. වනාන්තර පසුකර ආවෙමු. ලෙඩ දුක් අව් පිණි ආදිය විදිමින් ආවෙමු.

අපේ බලාපොරොත්තු නිරක්ථක වේදෝ? අපේ යාච්ඤා එපා කරනු ලැබේදෝ? අපේ ගමන නිෂ්ඵල වේදෝ? අපේ දුක් කදුලින් ඔබවහන්සේගේ ළය උණු නොවේදෝ? සැබැවින්ම මෙසේ සිදුවේදෝ?

මවුනි, ආදරවන්ත මවුනි… ගැත්තන්ගේ පෙම්බර මවුනි, ජපමාල මවුනි, අපව මුළුමනින්ම ඔබවහන්සේට ඔප්පුකර සිටිමු. අපව භාරගෙන ඔබවහන්සේගේ ආශිර්වාදය දානය කල මැනව.

මඩු හි අප ස්වාමිදුවෙනි , අප නිසා යදිනු මැනව.

මේ හා සම්බන්ධ වෙනත් ලිපි