ශුද්ධ බයිබලයේ අඩංගු පළමු පොත් 5 පංච පුස්තකය ලෙස හැඳින්වේ. මෙහි පොත් 5 ක් ඇතුළත් වුවත් විශ්වයේ ආරම්භයේ සිට මෝසෙස්ගේ මරණය දක්වා එකම කථාවක් සේ මෙය ඉදිරිපත් කර ඇත.
දෙවියන් වහන්සේ තෝරාගත් විශේෂ ජනයා වන ඉශ්රායෙල්වරුන් ගැන පංච පුස්තකය පුරා විශේෂයෙන් සඳහන් වේ. පංච පුස්තකය ප්‍රධාන වශයෙන් ගොඩනැගී ඇත්තේ නික්මයාම සිද්ධිය වටා ය.
පංච පුස්තකට අයත් පොත් 5 නම්,
- උත්පත්ති පොත
- නික්මයාම
- ගණන් කථාව
- ලෙවී ව්‍යවස්ථාව
- ද්විතීය නීති සංග්‍රහය
පංච පුස්තකය විවිධ වූ නම් වලින් හැඳින්වේ හැඳින්වේ.
- තෝරා (Torah) – හේබ්‍රෙව්
- නෝමෝස් (Nomos) – ග්‍රීක්
- පෙන්ටැටියුක් (Pentateuch) – ඉංග්‍රීසි
- හැකුලුම්පත් පහ – (Pentateuch යන ඉංග්‍රීසි වචනයේ ග්‍රීක අර්ථය)
- ව්‍යවස්ථාවලිය – (2 මකබි 15:9, ලූක් 10:26)
- මෝසෙස්ගේ ව්‍යවස්ථාවලිය – (2 වංශාවලිය 23:18, ලූක් 24:44)
- මෝසෙස්ගේ ව්‍යවස්ථාව – (2 වංශාවලිය 30:16, එස්රා 3:2, 7:16)
- මෝසෙස්ගේ ව්‍යවස්ථා පොත – (නෙහෙමියා 8:1, එස්රා 6:18)
- මෝසෙස්ගේ පොත – (2 වංශාවලිය 35:12, නෙහෙමියා 13:1, මාක් 12:26)
පංච පුස්තකයේ උත්පත්ති පොත තුළ ආබ්‍රහම්, ඊසාක්, ජාකොබ් සහ ජෝසප් යන චරිත ප්‍රධාන වශයෙන් හමුවන අතර අනෙක් පොත් 4 හිම දක්නට ලැබෙන ප්‍රධාන චරිතය මෝසෙස් වේ.
කතෘත්වය
මුල් කාලයේ දී පංච පුස්තකයේ කතෘ මෝසෙස් තුමා ලෙස පිළිගත් අතර පසුකාලීනව පංච පුස්තකයේ කතෘත්වය එක පුද්ගලයෙකුට ආරූඩ කළ නොහැකිය බවත් එය පුරාණයේ විවිධ ජන කොටස් තුළ පැවති පාරම්පරික සම්ප්‍රදායන් 4 ක අනුග්‍රහයෙන් ලියවී ඇති බවත් පිළිගැණුනි.
පංච පුස්තකයේ මෝසෙස්ගේ කතෘත්වය (ඒක පුද්ගල කතෘත්වය) බිඳ වැටීමට හේතු වූ කරුණු කිහිපයකි.
1) ඉන් පළමුවැන්න වන්නේ පංච පුස්තකය තුළ එකම සිද්ධිය නැවත නැවත සඳහන් වීමයි.
උදාහරණයක් ලෙස විශ්වය සහ මිනිසා මැවීම, දෙවියන් වහන්සේ ආබ්‍රහම් සමඟ කළ ගිවිසුම සහ ඊසාක්ගේ උපත ගැන දැන්වීම යන කොටස් දෙවරක් සඳහන වේ.
- විශ්වය සහ මිනිසාගේ මැවීම (උත්පත්ති 1:1-2:4, 2:5-25)
- දෙවියන් වහන්සේ ආබ්‍රහම් සමඟ කළ ගිවිසුම (උත්පත්ති 15, 17)
- ඊසාක්ගේ උපත ගැන දැන්වීම (උත්පත්ති 17:15-22, 18:6-15)
2) එසේ ම එක ම සිද්ධිය කිහිප ආකාරයකට විස්තර කිරීමක් ද දක්නට ලැබේ.
- උත්පත්ති 6:19 හි “පණ පිටින් රැකගනු පිණිස එක එක වර්ගයේ, සියලු සතුන්ගෙන් ගැහැණු-පිරිමි සතුන් වශයෙන් දෙදෙනෙකු බැගින් නුඹ සමඟ නැව තුළට රැගෙන යා යුතු ය ලෙස සඳහන් වේ.
- උත්පත්ති 7:2 හි එය “තවද, නන් වැදෑරුම් සත්ත්ව වර්ග පොළෝ තලයෙහි නොකඩව බෝ වන පිණිස සියලු පවිත්‍ර සතුන්ගෙන් ගැහැණු-පිරිමි සතුන් වශයෙන් ජෝඩු හත බැගින් ද සියලු අපවිත්‍ර සතුන්ගෙන් ගැහැණු-පිරිමි වශයෙන් ජෝඩුවක් බැගින් ද ආකාශ පක්ෂීන්ගෙන් ගැහැණු-පිරිමි සතුන් වශයෙන් ජෝඩු හත බැගින් ද රැගෙන යන්න.” ලෙස ද සඳහන් වේ.
- තව ද උත්පත්ති 7:8-9 හි “පවිත්‍ර සතුන්ගෙන් ද අපවිත්‍ර සතුන්ගෙන් ද පක්ෂීන්ගෙන් ද උරගයන්ගෙන් ද ගැහැණු-පිරිමි සත්තු ජෝඩුව බැගින් දෙවියන් වහන්සේ නෝවාට අණ කළ ලෙස නෝවා සමඟ නැවට ඇතුළු වූ හ.” ලෙසට ද සඳහන් වේ.
- මේ සඳහා තවත් හොද උදාහරණයක් වන්නේ උත්පත්ති 37:27 හි ජෝෂප්ව විකුණුවේ ඉෂ්මායෙල්වරුන්ට බවත් 37:28 හි ජෝෂප්ව විකුණුවේ මිදියන් වෙළෙඳුන්ට බවත් සඳහන් වීමයි.
- තවත් උදාහරණයක් ගතහොත් ජාකොබ්ට “ඉශ්රායෙල්” ලෙස නම් තැබූ ස්ථානය පිළිබඳව පංච පුස්තකයේ දෙයාකාරයකින් සඳහන් වේ. එය උත්පත්ති 32:31 හි පෙනුයෙල් ලෙසත් උත්පත්ති 35:15 හි බෙතෙල් ලෙසත් සඳහන් වේ.
3) පංච පුස්තකය තුළ ඉතිහාසය ගොඩනැගීමත් සමඟම එකම සිද්ධිය වෙනස් වීමක් දක්නට ලැබේ.
- නුමුහුන් පූප මංගල්‍යය පිළබඳව නික්මයාම 3:14-19, 37:18, 34:22 යන කොටස්වල ද ලෙවී 23, ගණන් කථාව 28:1 – 30:1 සහ ද්විතීය නීති සංග්‍රහය 16:1-7 යන කොටස්වල ද එකිනෙකට වෙනස් කරුණු සහිතව ඉදිරිපත් කර ඇති බවක් පෙනෙන්නට තිබේ.
4) තවද එක් කතාවක් තවත් කතාවකින් කොපි කිරීම සහ
5) ද්විතීය නීති සංග්‍රහයේ 3:14 සහ 34:6 හි ‘අද දක්වා’ යනුවෙන් සඳහන් වීම
වැනි හේතු නිසා පංච පුස්තකය එක් පුද්ගලයෙකු ඇති රචනා වූවක් නොව එය පුරාණයේ විවිධ ජන කොටස් තුළ පැවති පාරම්පරික සම්ප්‍රදායන් 4 ක අනුග්‍රහයෙන් ලියවී ඇති බව වර්තමාන පිළිගැනීමයි.
ඉශ්රායෙල් ජනතාව ඉතිහාසයක් හා පසුබිමක් ඇති ජනතාවකි. ඔවුනටම ආවේණික වූ ඉතිහාසයක් ඔවුන්ට තිබුණි. ඔවුන්ගේ විශ්වාසය ඔවුන් ඉතිහාසය පුරාවට ලබාගත් අත්දැකීම් සමඟ එකතු කොට පරම්පරාවෙන් පරම්පරාවට උරුම කරන ලදි.
මේ ඉතිහාසය පුරා ලබාගත් අත්දැකීම් ඉශ්‍රායලයේ එක් එක් ජන කොටස් එක් එක් ප්‍රදේශයන් වලදී තමන්ගේ සංකෘතිය සහ විශ්වාසයට අනුව යම් ක්‍රමයකට ගොඩනගා ගන්නා ලදි. මේ ආකාරයෙන් ගොඩනගා ගන්නා ලද විස්තර ඔස්සේ එක් එක් සම්ප්‍රදායන් බිහි විය.
මේ සම්ප්‍රදායන් සියල්ල එකතු වී ශුද්ධ බයිබලයේ පුරාණ ගිවිසුමේ පංච පුස්තකය රචනා වී ඇත.
පංච පුස්තකයේ එක් එක් පොතෙහි අන්තර්ගතය මෙසේ කෙටියෙන් විස්තර කළ හැකි ය.
උත්පත්ති කථාව – (පරිච්ඡේද 50)
මෙම පොතෙහි සඳහන් කර ඇත්තේ
- විශ්වය මැවීම
- මිනිස් වර්ගයාගේ ආරම්භය
- පාපයේ සහ ලෝකයේ දුක් වේදනා වල මුල
- දෙවියන් වහන්සේ විසින් මිනිස් සංහතිය පිළිබඳ ව ක්‍රියා කරන ආකාරය යන මූලික කරුණු ය.
මෙය ලියා ඇත්තේ සාහිත්‍යමය කතා සම්ප්‍රදායක් උපයෝගී කරගෙනය. මෙහි මුලික වශයෙන් කියනුයේ දෙවියන් වහන්සේගේ ප්‍රබල ක්‍රියා ගැනය. මෙය ආරම්භ වන්නේ දෙවියන් වහන්සේ විශ්වය මවන ලද බව ප්‍රකාශ කරමින්ය. අවසන් වන්නේ උන්වහන්සේ සිය සෙනඟ සහ මනුෂ්‍ය වර්ගයා පිලිබඳ දක්වන මහා සැලකිල්ල පෙන්වා දෙමින්ය.
මෙම පොත ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකිය.
I කොටස (පරිච්ඡේද 1-11)
- විශ්වය මැවීම සහ මිනිසාගේ ආදී කාලීන ඉතිහාසය.
- ආදම් සහ එව, කායින්, ආබෙල්, නෝවා යන අය පිළිබඳ පුවත්
- මහා ජලගැල්ම සහ බාබෙල් කොත පිලිබඳ කරුණු.
II කොටස (පරිච්ඡේද 12-50)
- ඉශ්රායෙල් ජාතියේ පැරණි ඉතිහාසය (ආබ්‍රහම්, ඊසාක්, ජාකොබ්, ජාකොබ්ගේ පුත්‍රයින් දොළොස් දෙනා, ජෝසෙප්)
නික්මයාම – (පරිච්ඡේද 40)
මේ පොත ලිය ඇත්තේ ඉශ්රායෙල් වංශ කථාවේ ඇති විශිෂ්ට කේන්ද්‍රීය සිද්ධිය අසුරුකොටගෙන ය. ඒ සිද්ධිය නම්,
මිසර දේශයේ වහල්කමට පාත්‍ර වී සිටි ඉශ්රායෙල් ජනතාව දෙවියන් වහන්සේගේ මැදිහත් වීමෙන් නිදහස ලබාගත් පසු ඔවුන් එම දේශයෙන් පොරොන්දු දේශය බලා නික්මයාම ය.
මෙම පොත කොටස් තුනකට බෙදිය හැකි ය,
l කොටස (පරිච්ඡේද 1-18)
- ඉශ්රායෙල් ජනතාව වහල්කමින් මිදී සීනයි කන්ද බලා නික්මයාම.
ll කොටස (පරිච්ඡේද 19-24)
- සීනයි කන්ද මත දෙවියන් වහන්සේ සමග කළ ගිවිසුම.
lll කොටස (පරිච්ඡේද 25-40)
- දේව නමස්කාරය සඳහා ශුද්ධස්ථානයක් ගොඩනැගීම.
- පූජක වරුන්ද, දේව නමස්කාරය ද පිළිබඳ නීති රීති.
ඉශ්රායෙල් ජනතාව වහල්කමින් මුදාගෙන ඔවුන්ට විමුක්තිය ලබා දුන් වීර පුරුෂයා මෝසෙස් තුමා ය. ඔහුගේ සේවයත්, ගිවිසුම ලබා ගැනීම සඳහා ඔහුගේ මැදිහත් වීමත්, මුළු ඉශ්රායෙල් වංශ කතාව කෙරෙහි ඔහු දැක්වූ සර්වකාලීන බලපෑමත් පිළිබඳ ව මේ ග්‍රන්ථය මැනවින් සාක්ෂි දරයි.
මෙහි ඉතා හොඳින් කවුරුත් දන්නා කොටස වනාහි 20 වන පරිච්ඡේදයෙහි අඩංගු දස පනත වේ.
ලෙවී ව්‍යවස්ථාව – (පරිච්ඡේද 27)
මේ පොතෙහි ප්‍රධාන තේමාව නම්, දෙවි සමිදාණන්ගේ ශුද්ධවන්තකම සහ දේව-සම්බන්ධතාව ඇති කර ගැනීම සඳහා, ජනතාව උන්වහන්සේට වැඳුම් පිදුම් කළ යුතු ආකාරයයි.
“නුඹලාගේ දෙවි සමිදාණන් වහන්සේ වන මා ශුද්ධ බැවින් නුඹලා ද ශුද්ධ ව සිටිය යුතු ය.” (ලෙවී 19:2)
“ලෙවී ව්‍යවස්ථාව” යනුවෙන් මෙම ග්‍රන්ථයට නම ලැබුණේ ශුද්ධ බයිබලයේ සෙප්ටුවාජින්ත ග්‍රීක පිටපතේ යොදා ඇති “ලෙවිටිකොන” නමැති නම ඇසුරෙනි. ලෙවිතියික පූජක සම්ප්‍රදාය ආශ්‍රිත ජන වන්දනාත්මක නීති රීති හා නියෝග රැසක් මෙහි අන්තර්ගත වේ.
මෙම පොත කොටස් පහකි,
1 කොටස (පරිච්ඡේද 1-7)
- පඬුරු සහ පූජා පිළිබඳ නීති.
2 කොටස (පරිච්ඡේද 8-10)
- පූජක සේවාවට කැප කිරීම.
3 කොටස (පරිච්ඡේද 11-15)
- පවිත්‍ර අපවිත්‍ර පිළිවෙත් ගැන නීති.
4 කොටස (පරිච්ඡේද 16)
- වන්දි ගෙවීමේ දිනය.
5 කොටස (පරිච්ඡේද 17-27)
- ජිවිතයේ දී සහ වන්දනාවේ දී ශුද්ධවන්තකම ආරක්ෂා කරගැනීම පිළිබඳ නීති.
ගිවිසුමේ ජනතාවක් ලෙස ඉශ්රායෙල්වරුන්ගේ දේව වන්දනාව සහ ආගමික පැවැත්ම තහවුරු කිරීමටත් වර්ධනය කිරීමටත් මෙම නීති රීති බොහෝ සේ ඉවහල් විණි.
මෙහි ගැබ් වූ ඉතා වටිනා රන් වැකිය වනාහි, පසු කලෙක දී ජේසුස් වහන්සේ විසින් ද්විතීය ශ්‍රේෂ්ඨතම ආඥාව වශයෙන් ගෙනහැර පාන ලද, “ඔබ ඔබට ප්‍රේම කරන ලෙස ම ඔබේ අසල්වැසියාට ද ප්‍රේම කරන්න.” යනු යි. (ලෙවී 19:18)
ගණන් කථාව – (පරිච්ඡේද 36)
ඉශ්රායෙල්වරුන් සීනයි කන්දෙන් නික්ම අවුරුදු හතළිහක් තුල පාළුකරය ඔස්සේ ගොස්, දෙවියන් වහන්සේ ඔවුන්ට දීමට පොරොන්දු වූ දේශයේ පෙරදිග මායිමට පැමිණීමේ ගමන් විස්තරය මේ පොතෙහි අඩංගු වේ.
මෙහි පරිච්ඡේද කීපයක සඳහන් වන ඉශ්රායෙල් ජනතාවගේ ලේඛන සංගණන නිසා මේ පොතට ගණන් කථාව යයි කියනු ලැබේ.
මෙහි ප්‍රධාන කොටස් පහකි,
1 කොටස (පරිච්ඡේද 1-9)
- සීනයි කන්දෙන් නික්ම යාමට සුදානම් වීම.
2 කොටස (පරිච්ඡේද 10-21)
- සීනයි කන්දේ සිට මෝවබ් දේශය දක්වා වූ සිද්ධීන් පිළිබඳ තොරතුරු.
3 කොටස (පරිච්ඡේද 22-32)
- මෝවබ් දේශයේ වූ කරුණු පිළිබඳ විස්තරය.
4 කොටස (පරිච්ඡේද 33)
- මිසර දේශයේ පටන් මෝවබ් දේශයට පැමිණීම දක්වා වූ ගමනේ විස්තරයේ සාරාංශය.
5 කොටස (පරිච්ඡේද 34-36)
- ජෝර්දාන් ගඟෙන් එගොඩ වීමට පෙර උපදෙස්.
පාළුකරය ඔස්සේ වූ ඉශ්රායෙල්වරුන්ගේ ගමන අධික දුක් කරදර සහිත එකක් වූ නිසා මෙහි හමු වනුයේ බොහෝ විට අධෛර්යයට පත්, අවිශ්වාසවන්ත, කැරලිකාර දේව සැලසුම්වලට පිටුපා ගිය ජනතාවකි.
මෙහි කැපී පෙනෙන වැදගත් කරුණු දෙකකි.
- දෙවියන් වහන්සේ සිය ජනතාවගේ දුබලකම සහ අකීකරුකම නොතකා, ඔවුන් ඓතිහාසික වන්දනා ගමනකට සුදානම් කරමින්, මහත් සෙනෙහසකින් ඔවුන්ට මගපෙන්වීම.
- දෙවියන් වහන්සේ හා ජනතාව කෙරෙහි, මෝසෙස් තුමා දැක්වූ අචල භක්තිය හා ඇදහිල්ල යි.
ද්විතීය නීති සංග්‍රහය – (පරිච්ඡේද 34)
මෙම කෘතියේ උදාර තේමාව නම්, දෙවියන් වහන්සේ, තමන් තෝරාගත්, තමන් ප්‍රේම කරන සෙනඟ ගළවා ඔවුන්ට ආශිර්වාද කිරීම ය.
මෙහි මූලික වශයෙන් අඩංගු වනුයේ ඉශ්රායෙල් ජනතාව පොරොන්දු දේශයට ඇතුළු වෙන්නට සුදානම් වන විට ඔවුන් අමතා මෝසෙස් තුමන් විසින් පවත්වන ලද කතා පෙළකි.
මෙම පොත කොටස් හතරකට බෙදිය හැකි ය,
1 කොටස (පරිච්ඡේද 1-4)
- වසර 40 ක් තුළ දෙවියන් වහන්සේ ඉශ්රායෙල් ජනයා පාළුකරය ඔස්සේ ගෙන ගිය ආකාරය සිහිපත් කොට දෙවියන් වහන්සේට කීකරු වන පිණිස මෝසෙස් තුමා සෙනඟට අවවාද කිරීම.
2 කොටස (පරිච්ඡේද 5-28)
- දස පණත සහ වෙනත් නීති නියෝග යළි සංශෝධනය කිරීම; සමිදාණන් වහන්සේට පමණක් භක්තිය පෑමේ අවශ්‍යතාව සිහිගැන්වීම.
3 කොටස (පරිච්ඡේද 29-30)
- දෙවියන් වහන්සේ සහ ජනතාව අතර ඇති කරගත් ගිවිසුමේ නියම තේරුම යළි මතක් කර දීම.
4 කොටස (පරිච්ඡේද 31-34)
- දේව ජනතාවගේ නායකයා වශයෙන් ජෝෂුවා පත් කිරීම.
පසු කලක දී ජේසුස් සමිදාණන් වහන්සේ විසින් ශ්‍රේෂ්ඨතම පණත ලෙස හඳුන්වා දෙන ලද, “ඔබේ දෙවියන් වහන්සේට ඔබේ මුළු සිතින් ද ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු ශක්තියෙන් ද ප්‍රේම කරන්න” යන වගන්තිය මෙහි හය වන පරිච්ඡේදයේ අඩංගු වී ඇත.
මෙම ග්‍රන්ථය අවසාන වනුයේ මෝසෙස් තුමන් විසින් දෙවියන් වහන්සේගේ විශ්වාසවන්තකම ගැන ගීයක් ගයනු ලැබීමෙන් පසු එතුමා ඉශ්රායෙල් ජනතාවට ආශිර්වාද දී මෝවබ් දේශයේ දී උන් වහන්සේ තුල සැතපුණු බව වාර්තා කිරීමෙන් ය.
අවසාන
සමස්තයක් ලෙස ගත් කළ පංච පුස්තකය ඉතා ගැඹුරු දේව ධර්මයක් ඉදිරිපත් කරයි. කතෝලික දහමේ මූලික හරය ගැබ්ව තිබෙන ශුද්ධ බයිබලයේ අත්තිවාරම වන් වූ පංච පුස්තකය ගැඹුරින් වටහා ගත යුතු කෘතියකි.
ඒ සඳහා මානව ඉතිහාසය සහ සංස්කෘතීන් පිළිබඳව මනා දැනුමක් සහ අවබෝධයක් අත්‍යාවශ්‍ය වේ. නැතහොත් එය හුදක් කතාන්තර පොතක් බවට පත්වනු ඇත.