මෙම ප්ලිපිය මගින් ජේසුස් වහන්සේව කුරුසියේ ඇණ ගැසූ අයුරු පිළිබඳව කෙටි විවරණයක් ඉදිරිපත් කරමු.
සාමාන්‍ය කුරුස වල අප දකින්නේ ජේසුස් වහන්සේගේ අත්ල සිදුරු වන සේ ඇණ ගසා ඇති ආකාරයයි. එහෙත් ශ්‍රී සළුවේ දැක්වෙන ආකාරයට හා විද්‍යාඥයන්ගේ මතයට අනුව, කුරුසියේ ඇණ ගැසීම මැණික් කටුව අසලින් සිදුකර ඇත. ජේසුස් වහන්සේගේ බර රාත්තල් 175ක් පමණ බව දැන විද්වතුන් සොයාගෙන ඇත.
අත්ල හරහා ඇණ ගැසුවහොත් සිරුරේ බරට අත්ල ඉරාගෙන යන බව රෝම හේවායන් අත්දැකීමෙන් දැන සිටි නිසා, ඔවුන් මැණික් කටුව අසලින් ඇණ ගැසීම කර ඇත.
ශ්‍රී සළුවේ නෙගටිව් රූපයේ දැක්වෙන පරිදි දකුණු අතේ ඇණ සළකුණ නොපෙනේ. එයට හේතුව වම් අත දකුණු අත මත තැබීමේදී දකුණු අතේ ඇණ සලකුණ වැසී යන පරිදි තබා තිබීමය.
ජේසුස් වහන්සේගේ ශ්‍රී සළුව ඉදිරිපත් කරන කුරුසපත් කිරීමේ සාධක
කෙසේ වුවත් ජේසුස් වහන්සේගේ ශ්‍රී සළුව ඉදිරිපත් කරන කුරුසපත් කිරීමේ සාධක කිහිපයකි.
- ජේසුස් වහන්සේව කුරුසපත් කිරීම සඳහා යොදා ගෙන ඇත්තේ ඇණ හතරක් නොව තුනක් බව.
- දකුණු කකුළ මත වම් කකුළ තබා ඇණ ගැසීම කර ඇත. එනිසා වම් කකුළ දණහිසින් නැමී දරදඬුවී දකුණට වඩා මදක් කොට ස්වභාවයක් පෙන්වන බව.
- අත්වල ඇණ ගැසීම අත්ල මත නොව මැණික් කටුව අසලින් සිදුකර ඇති බව.
- ඇණ ගැසීමේදී දෙඅත් කුරුසිය මත අංශක 45 ක කෝණයක් සිටින සේ දෙපසට විහිදුවා ඇණ ගැසීම කර ඇති බව.
- ඇණ ගැසීමට පෙර දෙපා කෲර ලෙස ඇදීමකට ලක්කර ඇති බව.
මෙම සාධක සැලකිල්ලට ගෙන බැලීමේ දී අපට පෙනී යන්නේ, ජේසුස් වහන්සේගේ කුරුසපත් කිරීමේ හා මරණයේ තිබෙන අමානුෂිකබව හා කෲරත්වයයි.
ඉහත සඳහන් කරුණු අතරින් පළමු හා දෙවන කරුණු සම්බන්ධයෙන් විද්‍යාඥයන් හා නිරීක්ෂකයන් අතර කිසිඳු විවාදයක් නැත.
ශ්‍රී සළුවේ නෙගටිව් රූපයේ දැක්වෙන ආකාරයට ජේසුස් වහන්සේගේ දකුණු කකුළ සෘජුව පහතට ඇද පාදය (foot) කොටස යටිපතුලට මදක් නැමී යන පරිදි කුරුස කඳ මතට තබා, ඉන්පසුව ඒමත වම් කකුළ තබා පසුව පාදය කොටස දකුණු කකුළේ පාදය කොටස මත තැබීමෙන් ඇණ ගැසීම කර ඇති බව සොයාගෙන ඇත.
ඒ නිසා සළුවේ පිටුපස කොටසේ නෙගටිව් රූපයේ වම් කකුළේ යටි පතුලේ සිට විලුඹ දක්වා කොටස නොපෙනේ.
වෛද්‍ය පියරේ බාර්බෙට් මළ සිරුරක් ගෙන කුරුසියකට තබා ඇණ ගැසීමේ පර්යේෂණයක් කොට, දකුණ කකුළ කුරුස ලී කඳට සෘජුවද, වම් කකුළ දණහිසින් මදක් ඇතුළට නමා දකුණු කකුළ මත තබා ඇණ ගසා ඇති ආකාරය ක්‍රියාවට නගා පෙන්විය.
කරුස කඳ බිම තබා එම මළ සිරුර කරුසියට තබා, ඇණ ගැසීමෙන් අනතුරුව කුරුසිය කෙළින් ඉහළට එසවීය. එසේ සිටුවීමේදී, ශරීරයේ බර නිසා දෙඅත් සෙන්ටි මීටර් 5 ක් පහතට ඇදී ඇති අතර, ශරීරය පහතට එල්ලීමෙන් දෙඅත් අංශක 65 ක කෝණාකාර පිහිටීමක් ද, අංශක 25 ක හරස් ලී කඳට සමාන්තරව තිබී ඇත.
මෙම පරීක්ෂණයෙන් ලබා ගත් දත්ත හා ශ්‍රී සළුවේ රූපය සංසන්දනාත්මකව නිරීක්ෂණය කර බැලූ වෛද්‍ය බාර්බෙට්ගේ නිගමනය වූයේ, එවැනි ආකාරයටකට ජේසුස් වහන්සේව ද ඇණ ගැසීම සිදු කර ඇති බවය.
වෛද්‍ය පියරේ බාර්බෙට්
එහෙත් ශ්‍රී සළුවේ ඇති රූපයේ සෙන්ටිමීටර් 22 ක ඇදීමක් පෙන්නුම් කරයි. බොහෝ දෙනෙකු වෛද්‍ය බාර්බෙට්ගේ අදහස පිළිගන්නා නමුත්, සෙන්ටිමීටර් 22 ක වෙනස පිළිබඳව විමතිය පළ කරති.
මේ සම්බන්ධයෙන් ඉංජිනේරුවෙකු වූ කෝර්ඩොනීයර් නමැත්තාගේ මතය වන්නේ, දෙඅත් වල කෝණාකාර පිහිටීම අංශක 45 ක් බවය. එසේම දෙඅතේ මැණික් කටු අසලින් අත්ල කොටස අංශක 20 ක් කෝණාකාරව දෙපසට නැවී තිබීමක් ශ්‍රී සළුවේ දැකිය හැකිය.
කෝර්ඩොනීයර්ගේ පරීක්ෂණය හා නිගමනය වූයේ, ජේසුස් වහන්සේගේ දෙඅත් වලට ඇණ ගැසීම අත්ල හරහා නොව මැණික් කටුව අසලින් සිදුකර ඇති නිසා මැණික් කටුවට ඉහළ අත්ල කොටස් දෙපසට නැමී යාම සිදු විය හැකි බවත්, එනිසා ජේසුස් වහන්සේගේ දෙඅත් කුරුසිය මත පිහිටා තිබී ඇත්තේ අංශක 45 ක කෝණාකාර ස්වභාවයකින් බවත් ය.
අල්ලට මදක් ඉහළින් මැණික් කටුවට ඉතා ආසන්නව ගැසූ ඇණය අංශක 25 ක පමණ ඇලවීමකින් මැණික් කටුව අතරින් අතේ උඩු පැත්තෙන් පිටතට මතුවී කුරුස කඳේ හරස් ලී කඳට සවි වේ. (ඉහත දකුණු පස රූපයේ දැක්වෙන ඉඳිකටුව අත හරහා ගමන් කර ඇති ආකාරය හා පහත වම් පස රූපයේ අතේ ඇණ සිදුර පිහිටන ආකාරය නිරූපණය වේ. පහත දකුණු පස රූපයේ එක්ස් රේ කිරණ මගින් අතේ ඇණය මැණික් කටුව ආසන්නයෙන් ගමන් කර ඇති අයුරු පෙන්වයි.)
කෙසේ වුව ද, විද්වතුන් අතර දෙඅත් වල පිහිටීම සම්බන්ධයෙන් විවිධ මතවාද තිබුණ ද, පොදුවේ පිළිගත් වැදගත් සාධක දෙක වන්නේ,
ඇණ ගැසීම අත්ල හරහා නොව, මැණික් කටුවට අසළින් සිදු කර ඇති බව හා ඇණ ගැසීමේ දී දකුණු අත බලාත්කාරයෙන් ඇදීමකට ලක් වී ඇති බවත් ය.
අයිතිය හා උපුටා ගැනීම
ධර්මෝපදේශකයා බ්ලොග් සටහන